පොහොට්ටුවේ මැරයින් විසින් ගාලුමුවදොර සමාකාමී උද්ඝෝෂණයට පහර දී රට ගිනි තැබීමට පෙර දින, එනම් මැයි 08 දින ගාලුමුවදොර අරගල භූමියේ ආරක්ෂාව තරකරන ලෙසට පොලිස් ප්‍රධානීන්ට පවසමින් ආරක්ෂාව තර කිරීමට දැඩි උත්සාහයක් දැරූ බව කියන නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට ඔහුට මෙම ස්ථාන මාරුව ලැබී ඇත.
පසුගිය මැයි 08 වෙනිදා රාත්‍රියේ අසනීප වී රෝහල් ගත කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුවය ලබා නැවත සේවයට වාර්තා කර තිබුණේ අද (13) ය. ඔහු වහාම ක්‍රියාත්මකවන පරිදි කෑගල්ලට මාරු කර ඇති බව ඔහු දැනගන්නේ සේවයට වාර්තා කළ පසුය.
නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මෙම වසරේ ගෙවී ගිය මාස 05 ඇතුළත ලද 06 වැනි ස්ථාන මාරුව මෙයය.
පොලිස් මූලස්ථාන තොරතුරු වලට අනුව මෙම වසරේ ජනවාරි මාසය වන විට ඔහු සේවයේ නිරතව සිටින්නේ පොලිස් මූලස්ථාන ප්‍රධානියා ලෙසය.
එතැනින් දේශපාලන පළිගැනීම් කොමිසමේ අධ්‍යක්ෂක ලෙසට ස්ථාන මාරුවීම් ලබාදෙන ඔහුට එම ස්ථානයේ සේවය කිරීමට ලැබෙන්නේ මාස දෙකකටත් අඩු කාලයක් පමණි.
අනතුරුව ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානියා ලෙසිනි. එතැන මාසයක්වත් ඔහුට සේවය කිරීමට ඉඩ නොලැබෙන අතර එතැනින් ඔහු විසිවන්නේ විශේෂ ආරක්ෂක දිසාව වෙතය.
කෙටි කාලයකින් අනතුරුව ඔහුව ස්ථාන මාරුවීම් කෙරෙන්නේ බදුල්ලටය. සතියක් ඇතුලත නැවතත් ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට අරගල භූමියේ ආරක්ෂාව සම්බන්ධයෙනි.
මැර ප්‍රහාරයෙන් මේ භූමිය ආරක්ෂා කරගැනීමට දැඩි වෙහෙසක් දැරූ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වෑයම නිශ්ඵල විය. මේ වනවිට ඔහු වහාම ක්‍රියාත්මකවන පරිදි කෑගල්ලට මාරුකර යවා තිබේ.