දෙවන ටෙස්ට් තරගයේ සිය වෙහෙසකර මුල් දිනය නවසීලන්ත කණඩායම නිමා කර ඇත. ගාල්ලේ තණතීරුව පිතිකරණයට දැවැන්ත ඉඩක් ලබා දී තිබේ. ඒ ඉඩේ ශ්‍රී ලංකා කණ්ඩායම පෙළහරක් බඳු ඉනිමක් ක්‍රීඩා කරමිනි. මුල් දිනය නිමා වනවිට ලකඩුළු 03ක් පමණක් දැවී ලකුණු 306කි.
චන්දිමාල් ලකුණු 116ක් ලැබුවේ අංක 3 අභියෝගය රට වෙනුවෙන් දිනා දිය හැකි බව සහතික කරමිනි. කමිඳු ලෝක වාර්තාවකය. ඇන්ජි නොදැවී ලකුණු 78ක් සහිතවය.
කමිඳුගේ ලෝක වාර්තාව

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අවුරුදු 147කි. ඒ ඉතිහාසයේ මංගල ටෙස්ට් තරග අටේදීම ලකුණු පනහකට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ලෝකයේ පළමු පළමු පිතිකරුවා 25 හැවිරිදි කමිඳු ය.
ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පාකිස්තානයේ ෂවුඩ් ෂකීල්ය. පසුගිය තරගයේ දී කමිඳු එම ලෝක වාර්තාව සම කළේය. ෂවුඩ් ෂකීල් ඔහු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හත තුළ අඛන්ඩව ලකුණු පනහකට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබුවේය. ඊට පෙර එම වාර්තාව තිබුණේ ඉන්දියාවේ සුනිල් ගවස්කාර් සතුවය. ගවස්කාර් සිය මංගල ටෙස්ට් තරගයේ සිට මුල් තරගය 06 දීම ශතක හෝ අර්ධ ශතක එක දිගට වාර්තා කළේය.
දැන් ලෝක වාර්තාව කමිඳු අතේය. තම මංගල ටෙස්ට් තරගයේ සිට මේ දක්වා සෑම තරගයකම අඩුම තරමේ තරගයක එක් ඉනිමක දී හෝ ඉනිම දෙකේම ඔහු ලකුණු 50ක් හෝ සියයක් වාර්තා කර තිබුණේය. මේ වනවිට කමිඳු ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 08කි. ඉනිම 13කි. මේ ඉනිම 13ට ශතක 04කි. අර්ධ ශතක 5කි. මේ ඔහු ක්‍රීඩා කරමින් සිටින්නේ සිය 8 වැනි තරගයේ මුල් ඉනිමය. ඒ ඉනිම තුළ දැනට නොදැවී ලකුණු 51කි.

දැනට ඔහු මේ ඉනිම 13තුළ පමණක් රැස් කරගෙන ඇති ලකුණු ගණන 873කි. මුල් දිනයේ තරගය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306කි. කඩුළු 03කි.
අද තරගයේ විශේෂය.
අද වාසනාව තිබුණේ නම් අපේ පැත්තේය. කාසියේ වාසිය අපටය. අප පිතිකරණය තේරුවේය. නවසීලන්තය පිටියේ පන්දු රැකීම සම්බන්ධව යළිත් කල්පනා කළ යුතු තැනකට වැටී තිබිණි. මිචෙල් සැන්ට්නර් උඩ පන්දු දෙකක් අතහැරියේය. ටොම් ලැතම් අතින් අසීරු උඩපන්දුක් ගිලිහිනි. ටොම් බ්ලන්ඩල් අතින් දිමුත්ගේ කඩුල්ල ස්ටම් කර දවා ගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහුනේය. විලියම් ඕ’රුක්ගේ පන්දුවකට මැතිව්ස් දැවී ගියේය. එහෙත් ඕ’රුක් යැවූ එම පන්දුව නිපන්දුවක් විය. අවස්ථා ගණනාවක දී නවසීලන්ත පන්දු රකින්නන් නුදුරේ උඩ පන්දු පතිත විය.

ඒ සියල්ල මගහැරුනේය. කමිඳු ලෝක වාර්තාවක් තිබ්බේය. චන්දිමාල් ලකුණු 117ක් ගැහුවේය. මැතිව්ස් නොදැවී ශතකය වෙතට සෙමින් ලං වෙමිනි.
කඩුළු බිඳ වැටීම
එකම එක ලකුණකට පැතුම් නිශ්ශංක දැවී ගිය බව සැබෑය. ටිම් සවුතිගේ පන්දුවකට පැතුම් හසුවුනේය. කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩල් එම පහසු උඩපන්දුව රැක ගත්තේය. එවිට මුළු ලකුණු ගණන 2කි.
නමුත් දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් කදිම පිතිකරණයකින් ගාලු ක්‍රීඩාංගනය වරණනය කළේය. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙන සම්බන්ධතාවය ලකුණු 122කි. ලකුණු අතර දිවීමේ දී දිනේෂ් චන්දිමාල් අතින් අවධානය ගිලිහි ගිය මුල්ම මොහොතේ දී අතිශය අවාසනාවන්ත ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 46කට දුවද්දී දැවී යෑමට හසුවුනේ නැතිනම් නිසැකවම ඔහු මෙම තණ තීරුවේ ලකුණු 100 ඉක්මවන බවට වූ අදහසක් අප තුළ ඇතිකරන විශ්වාසනීය පිතිකරණයක ඔහු යෙදෙමින් සිටියේය. ඔහු ලකුණු 46 ලබන්නේ පන්දු 109කට සංයමයකින් යුතුව මුහුණ දෙමිනි. එල්ල කරන්නේ හතරේ පහර 4ක් පමණි.
දෙවැනි කඩුල්ල දැවී යන්නේ ලකුණු 124 දී ය. අනතුරුව චන්දිමාල් සහ ඈන්ජලෝ මැතිව්ස් අතර යළිත් ශතකාසන්න සම්බන්ධතාවයක් ගොඩනැගුනේය. එම සම්බන්ධතාවය ලකුණු 97කි. ග්ලෙන් පිලිප් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් චන්දිමාල් දැවී යන විට ඔහු පන්දු 208ට මුහුණ දෙමින් ලකුණු 116ක් රැස් කරගෙන සිටියේය.

එතැන් සිට ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78ක් සහිතව ක්‍රීඩා කරමිනි. මැතිව්ස් ඒ ලකුණු 78 වෙනුවෙන් පන්දු 116කට මුහුණ දී ඇත. එල්ල කර ඇත්තේ හතරේ පහර 06ක් පමණි.
කමිඳු එක් අන්තයක සිට සුපුරුදු පිතිකරණ රටාවේය. ඔහු සිය 08 වැනි ටෙස්ට් තරගයත් අර්ධ ශතකයකින් ආරම්භ කර තවමත් නොදැවී පිටියේය. ඔහු හතරේ පහර 08ක් ලකුණු 51 වෙනුවෙන් එල්ල කරමිනි. මුහුණ දී ඇත්තේ පන්දු 56කට පමණි. කමිඳු සහ ඇන්ජි අතර මේ වනවිට ගොඩනැගී ඇති සම්බන්ධතාවය නොදැවුන ලකුණු 85කි.
නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති ලකුණු 54ට කඩුල්ලකි. ග්ලෙන් පිලිප් ලකුණු 33ට කඩුල්ලකි. පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ කඩුළු 06ක් දවා ගත් අජාස් පටෙල්ට පන්දු ඕවර 27ක් යවා හෝ තවමත් එක් කඩුල්ලක්වත් නැත.
මේ විශ්මය ජනක තරගය දෙස අපි ආදරයෙන් බලාගෙන හිඳිමු.







