බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගමෙන් ආව මගෙ ජීවිතයේ විනය, ආකල්ප තීරණාත්මකව වෙනස් කළේ රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාර ජීවිතයයි…   

රුහුණු විශ්විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ළමාරෝග විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන..

by editor
ජූලි 3, 2021
in පුවත්
Sujeewa-Amarasena

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන

Share on FacebookShare on Twitter

ටානියා මෝසස් –

  • රුහුණු සරසවියෙ අමානුෂික නවක වදය නවත්වන්න ළමයි 30කට පමණයි දඬුවම් කළේ… දැන් ඉතිරි 4470වම   පන්තිවල ඉගෙන ගන්නවා…

  • නිදහස් අධ්‍යාපනය ගැන අරගල කරන වෛද්‍ය ශිෂ්‍යයො රට දාලා යන්නේ එකම වෛද්‍යවරයෙක් නැති රෝහල් රටේ තිබෙද්දි

  • කවදාවත් ටියුෂන් කියන දේ අහලා තිබුණෙ නෑ… වැල්ලෙ බෝල ගහලා ගෙදර එනකොට කළුවර වැටිලා..

  • ජීවිතය වෙනස් වුනේ රාජකීය විද්‍යාලයෙ දි සහ එහි නේවාසිකාගාරයෙදි ගත්තු අත්දැකීම්වලින්…

  • අන්තිම කාලෙත් ඉංග්‍රිසි අමාරුයි… සාමාන්‍ය පෙළට තිබුණෙ සාමාන්‍ය සාමාර්ථයක්…

 

රුහුණු විශ්විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේනයන්ය.  එතුමෝ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙති.  ප්‍රවීන ඇදුරුවරයෙක් වෙති. මහා අර්බුදයක් වී ව්‍යසන මට්ටම තෙක්  ඇදී ගිය රුහුණු සරසවියේ  ශිෂ්‍ය අර්බුදය කළමනාකරණය කළ පෞරුෂවත් පරිපාලකයා ලෙස  ප්‍රසාදය සේම සරසවිය මෙහෙයවූ ශිෂ්‍ය සංගම්වල දැවැන්ත  විවේචනයට ලක්වූ  එතුමෝ  ශිෂ්‍ය ජීවිත දෙස වෙනම දෘෂ්ඨියක් හෙළූ  උපකුලපතිවරයෙක් වූහ.  රටේ පතල කීර්තිමත් විද්වතෙක් වූහ.

ගමේ ගැමි දරුවෙක්ව ඉපිද කොළඹ මහා ගාම්භීර සමාජ තළ ඇසුරෙහි ජීවිත  අත්දැකීම් ලබමින් ගෙවුණු ළමා විය සහිත අමරසේනයෝ මෙවර රසඳුන සමග සිය ජීවිත අත්දැකීම් බෙදා ගැනීමට එක් වෙති. මේ පිරුණු මිනිසා අප හා සංවාදයට එක් වන්නේ  මහේශාඛ්‍ය උප කුලපතිවරයෙක් ලෙස නොව,  පිරුණු ජීවිත අත්දැකීම් සහිත  සරල මිනිසෙකු ලෙසය.  

සිළුමිණ පුවත්පතේ රසඳුන අතිිරේකය වෙනුවෙන් කළ එම සංවාදය මෙසේ උපුටා පල කරමු.“ මම ඉපදුනේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මැතිවරණ කොට්ඨාසයේ මග්ගොන.  මග්ගොන මාගල්කන්ද  තමයි මගෙ ගම.  අම්මයි තාත්තයි  දෙන්නම ගුරුවරු.  සීයා මේසන් බාස් කෙනෙක්. ආච්චි ගෙදර බලාගෙන හිටියා. මට මතකයි ආච්චිට අකුරු බෑ. එයා එක්ක සමූපකාරයට ගියාම එයා  මහපට   ඇඟිලි අත්සන තියලා තමයි හාල්පොතට හාල් ගන්නේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මගෙ අම්මා ඉගැන්නුවෙ මාගල්කන්ද බෞද්ධ විද්‍යාලයෙ. තාත්තා   කළුතර දිස්ත්‍රික්කයෙ විවිධ පාසල්වල ඉගැන්නුවා.  මට හිටියෙ අක්කයි මල්ලියි. මෑතක දි මල්ලි රිය අනතුරකින්  ජීවිතෙන් සමුගත්තා. ජීවිතයේ ලබපු වේදනාත්මකම අත්දැකීමක් ඒක.

පුංචි කාලෙ මාගල්කන්ද ගමේ ඉස්කෝලෙ තමයි ඉගෙන ගත්තේ. අම්මත් ඉගැන්නුවෙ ඒ පාසලේ.  පාසලට යන්නේ  පයින්මයි.  ඒ ගමනම හරිම වින්දනයක්.  කිලෝ මීටර 3ක් විතර පයින් යන්න සිද්ධ වුණා.     ගමේ ඉස්කෝලෙ 4 පන්තිය වෙනකම් ඉගෙන ගත්තා.

ඉන් අනතුරුව අම්මයි තාත්තායි මාව කළුතර  වේලාපුර විද්‍යාලයට ඇතුළත් කළා.   වේලාපුර විද්‍යාලයට 5 පන්තියට එනකොට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ළමයි ගොඩක් නිසා පාසලේ පන්ති තිබ්බෙ දෙවරුවකට.    මා තේරුණේ හවස්වරුවෙ පන්තියට.  ඒක ඉතින් ළමයි විදිහට අපිට අවාසියි. සෙල්ලම් කරන්න වෙලාවක් එන්නෙම නෑ. අපි ඒකට විධියක් හදා ගත්තා.  අපි තුන් හතර දෙනෙක් මෝනිස් බේකරිය කිට්ටුවට උදේ 10 වෙනකොට එකතු වෙනවා. වෙරළට ගිහින් සෙල්ලම් කරලා රැල්ල පාගලා තමයි ඉස්කෝලෙට යන්නේ.  හවසත් 5ට ඉස්කෝලෙ අරිලා කෙලින්ම වෙරළට. ෆුඩ් බෝල් ගහලා වැලි නාගෙන රෑ වෙලා ගෙදර යන්නෙ. අම්මයි තාත්තයි මේක දැනගෙන හිටියට එයාල තරවටු කරන්න ආවේ නෑ.  අපි ගත කළේ හරිම නිදහස් ජීවිතයක්.  ටියුෂන් කියන සම්ප්‍රදායක්  ගැන අහලවත් තිබුණෙ නැති කාලයක් ඒක.“

ගමේ නිදහස් කෙළි ලොල් දරුවෙක් ලෙස දිවි ගෙවූ අමරසේනයන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සලකුණු වන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමත් වී කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමත් සමගිනි.

ඒ අවධියේ පැවති ජාතික නවෝදය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුනේ 7වන ශ්‍රේණියේ දීය.  ප්‍රතිඵල එන්නේ වසරක් පමා වී 8වන ශ්‍රේණියේ දීය. ශිෂ්‍යත්වයෙන් සමත්වන දරුවෙක් පාසලකට ඇතුළු කරන්නේ 9 ශ්‍රේණියටය.  අමරසේනයන් ශිෂ්‍යත්වය සමත් ගැමි දරුවෙක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වන්නේය.  ඒ 1974 දී ය.

“ මම කුඩා කාලයෙ අධ්‍යාපන කුසලතා නිසා ඩබල් ප්‍රමෝෂන් දෙකක් ගත්තු ළමයෙක්. ඒ නිසා මම රාජකීය විද්‍යාලයේ 9 පන්තියට එනවිට මගෙ වයස අවුරුදු 13යි. ඒක මට පුංචි කාලෙදි ලොකු ප්‍රශ්නයක් වුනේ පන්තියෙ හිටපු පොඩිම එකා මා නිසා.“

“මුලින්ම ඉස්කෝලෙ ආවෙ අච්චිත් එක්ක. එයා ඉතින් මගෙ ඉස්කෝලෙ ඇරෙනකම් පන්තිය ලඟ ගහක් යටට වෙලා ඉන්නවා. ඊට පස්සේ මට රාජකීය විද්‍යාලයේ නේවාසිකාගරයෙ නවතින්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මගෙ ජීවිතයේ තීරණාත්මක ලෙස වෙනස් වුනේ නේවාසිකාගාරයෙන් ලබපු ශික්ෂණය සමග පාසල් ජීවිතයෙ විවර වුණු විශාල අත්දැකීම් පරාසයක් එක්ක කියලා මා කල්පනා කරනවා. “

“ රාජකීය විද්‍යාලටයට තේරිලා නේවාසිකාගාරයෙ නැවතුනාට පස්සේ    ගෙදර ගියෙ වාර නිවාඩුවට තමයි. මොකද මා මගෙ ජීවිතයේ වෙනසක් බලාපොරොත්තු වුණා. නේවාසිකාගාරයෙ නැවතුනාට පස්සෙ  විනය කියන එක   අපට හොඳටම හුරු වුණා. ඒ වගේම රාජකීය විද්‍යාලය කියන්නෙ මහා පරාසයක් විවර කරන පාසලක්. අපි එක්ක සෑම ජාතිකයම සෑම ජනවර්ගයකම, සිංහල දෙමළ ඉංග්‍රීසි වහරණ ළමයි පිරිසක් හිටියා. ජීවිතය ඔවුන් එක්ක බෙදාගන්න ඔවුන්ගේ සංස්කෘතික අවකාශය පිළි අරන් හැසිරෙන්න අප හුරු වුණා. බහු ආගමික බහු සංස්කෘතික රටක අධ්‍යාපන මොඩලය කුමක් විය හැකිද කියලා කවුරු හරි ඇහුවොත් මට කියන් පුලුවන් රාජකීය විද්‍යාලයෙදි මම අත්වින්දෙ ඒ ආදර්ශය කියලා.“

Sujeewa-Amarasena
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන

“ඒත් ගමෙන් ආපු අපිට ලොකුම ප්‍රශ්නයක් තිබුණා මේ ඉංග්‍රීසි භාෂාව ගැන. කොහොමත් ඒ කාලෙ ඉංග්‍රීසි බෑ. මට ඕලෙවල් වලටත් ඉංග්‍රීසිවලට තියෙන්නෙ එස් එකක්.  දෙවන පාර ලියලයි සී එකක් ගත්තේ.    ඒත් ඉංග්‍රීසි කියන්නෙ ඉගෙන ගන්න හරිම ලේසි භාෂාවක්. මට මතකයි ඒ දවස්වල හොස්ටල් වෝර්ඩ්න් නානායක්කාර මහත්තයා අපට ඉංග්‍රීසි උගන්වන්න විඳපු දුක. ඒ මගපෙන්වීම්වලින් ඉංග්‍රිසි ඉගෙන ගත්තා මිසක් ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලා මා හිතන්නෙ නෑ“.  ඔහු ඒ අතීතය මතක් කරන්නේ කොක්සන් දී සිනාසෙමිනි.

වර්ෂ 1978 දී උසස්පෙළ විභාගයට විද්‍යා අංශයෙන් පෙනී සිටින අමරසේනයන් ප්‍රවේශය ලබන්නේ රුහුණු සරසවි වෛද්‍ය පීඨයටය. ඒ රුහුණු සරසවියේ වෛද්‍ය පීඨය ගොඩනැගෙමින් තිබුණු වකවානුවය.

“ඒ වෙනකොට රුහුණු  වෛද්‍ය පීඨය හැදුවට ආරම්භ කරලා නෑ. රුහුණුට තේරුණු ළමයි 80 කොළඹ සහ පේරාදෙණියට   40 බැගින් ඇතුළු කළා . දෙවන වසරෙ විභාගෙ පාස් වුණාම තුන්වන වසරට තමයි අපිව කරාපිටියට ගෙනිච්චෙ. ඒ 1981 අවුරුද්දෙ. අපි යනකොටත් කරා පිටිය වෛද්‍ය පීඨය හදලා නෑ.  ඒ භූමිය කැළෑවක් තිබුණේ.   මහමෝදර පොඩි ගොඩනැගිල්ලක් තිබුණා. ඒක දැන් බී.එස්.සී හෙද පාඨමාලාව හදාරන ගොඩනැලිගිල්ල. ඒකෙ තමයි මුල් කාලීනව අපේ වෛද්‍ය පීඨයෙ සියලුම දේවල් තිබුණේ. ඒත්  අපි පුහුණු වුනා. අපට හොඳ ගුරුවරු හිටියා.   . ඒක විශේෂ අත්දැකීමක්.    අඩු පහසුකම් යටතේ හොඳ උපාධියක් ගන්න අපට හැකි වුණා.  අනෙක් සමකාලීන කිසිම වෛද්‍ය ශිෂ්‍යයෙකුට නොදෙවෙනි දැනුමක් එක්කයි අපි සමත් වුණේ.“

වෛද්‍ය පීඨයේ දී අමරසේනයන් විශේෂ හැකියාවක් පෙන්නුම් කරන්නේ ළමා රෝග විෂය සම්බන්ධවය. රුහුණු සරසවි ඉතිහාසයේ ළමා රෝග විෂය සම්බන්ධව වැඩිම ලකුණු ගන්නා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට හිමිවන  ඒ.ආර් ද සිල්වා පදක්කම මුල් වරයට දිනා ගන්නේ ඔහුය.

“ මා දෙවැනි පන්තියෙ විශේෂ සාමර්ථයක් එක්ක සමත් වුණා.    ඒ වෙනකො මට වැටහීමක් තිබුණා පශ්චාත් උපාධිය කරන්න ඔන ළමාරෝග විෂයෙන් කියලා.  ඊට පස්සේ කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ  පශ්චාත් උපාධිය කරලා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වුණා.“

“මා  සීමාවාසික පුහුණුව 1985 ඉවර කලා. 1991 දි   ඔස්ට්‍රෙලියානු  ශිෂ්‍යත්වයට මා මොනෑෂ්වලට ගියා.  ඒක ඔස්ට්‍රේලියානු ළමා රෝග සංගමයෙන් දෙන ශිෂ්‍යත්වයක් . ඒක දෙන්නේ රටවල් 14කින් ඒක පුද්ගලයෙකුට.    මට ඒක ලැබුණා.   මොනෑෂ් විශ්විද්‍යාලයෙ ළදරු රෝග පිළිබඳ  අවුරුදු දෙක හමාරක පශ්චාත් උපාධි පාඨමාලවක් හැදෑරුවා.  ඒ වකාවනුවේ තිබුණු ඉහලම විද්‍යාත්මක පහසුකම් යටතේ පුහුණු වෙලා දැඩි සත්කාර ඒකක සම්බන්ධ විශාල පරිචයක් ලබා ගත්තා. සිඩ්නිවල රෝයල් ඇලෙක්සැන්ඩ්‍රා රෝහලේ අවුරුද්දක් සේවය කළා.   මා යළි ලංකාවට එන්නේ 1994 දි. පැමිණ එංගන්තයෙ ඔක්ස්ෆර්ඩ් ඇතුළු විශ්විද්‍යාල කීපයක කෙටි කාලීන පුහුණුවීම් ලැබුවා.“

“ මා මෙහෙ එනකොට ළදරු රෝග පිළිබඳව දැඩි සත්කාර ඒකකයක් තිබුණෙ නෑ. අපි 1995 වනවිට දැඩි සත්කාර ඒකකයක් හැදුවා. වැඩ කළා.  විශ්විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස  ළදරු රෝග වෛද්‍ය අධ්‍යාපනය ගැන පර්යේෂණයක් කළා. ළමා අපයෝජන සම්බන්ධව   පෝෂණ හා නව දරු උපත්වලට අදාල පර්යේෂණ රාශියක් කළා. “

කොතලාවල වෛද්‍ය පීඨයෙ පළමු පීඨාධිපති අමරසේනයන්ය. රුහුණු සරසවියේ ඔහු ශිෂ්‍යයෙක් ලෙස ලද අත්දැකීම සේය. නාමික පීඨයක් ඔහු යථාර්ථයක්  කළේය. තමන්ගේ සප්ත වාර්ෂික නිවාඩුව පිට ඔහු කොතලාවල වෛද්‍ය පීඨය ගොඩනගන්නට පැමිණ එය නිශ්ඡිතව සැලසුම්කර පවත්වාගෙන යන ක්‍රමවේදය සකසා ඉන් නික්මෙන්නේය.  ඉන් නික්මී පැමිණ රුහුණු විශ්විද්‍යාලයේ  සම සෞඛ්‍ය සේවාවන් සඳහා ආරම්භ කළ බී.එස්.සී උපාධි පාඨමාලාව  සම සෞඛ්‍ය පීඨයක් සේ වර්ධනය කර එහි මුල්ම පීඨාධිපති බවට පත්වන්නේය. රුහුණු සරසවියේ උපකුලපති ලෙස ඔහු පත්වන්නේ ඉන් පසුවය. ඒ  උපකුලපතිකම කොයි උපකුලපතිකමටත් වඩා පහසු නොවුණු බව කියැවිනි.

රුහුණු සරසවිය අතිශය සංවාදයට ලක්වුණු සරසවියකි. අමානුෂික නවකවදය සම්බන්ධව එහි කියැවුණු කතා ම්ලේච්ඡත්වයට සමීප ගෝත්‍රික  හැසිරීම්වලට සමීපය. මෙවැනි සරසවියක පරිපාලනය කෙබඳු අත්දැකීමක් විය හැකි ද.  මම මහැදුරු සුජීව අමරසේනයන් විමසුවෙමි.

“මට මේ රටේ ශිෂ්‍ය දේශපාලනය ගැන තේරුම්ගන්න බැරි කාරණාවක් තිබුණා. සමාජවාදය  මුල් කරගෙන අරගල කරන ශිෂ්‍ය ක්‍රියාකාරිකයො නිහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන   රට දාලා යනවා. වාර්ෂිකව එළියට එන වෛද්‍යවරු 300න් සියයට දහයක් රට දාලා යනවා. එහෙම යන්නෙ මේ රටේ වෛද්‍යවරු හිඟ වෙලා ඉද්දි. බදුල්ලෙ විතරක් එකම වෛද්‍යවරයෙක් නැති රෝහල් 17ක් තියනවා. වරෙක මහා ශිෂ්‍ය සංගමයෙ ක්‍රිකාරිකයො මගෙ කාර් එක කුඩු කළා. ඔවුන්  වෛද්‍යවරු වෙලා ඒ වන්දි ගෙව්වා.  ඔබට කියන්න ඒ අරගල කරුවො අද මේ රට දාලා ගිහින්…“ අමරසේනයන් අප ඇසූ පැනයට ප්‍රවේශය ගන්නෙ එසේය.

“මම හැමදාම වෙනස් ආචාර්යවරයෙක්.   රැල්ලට විරුද්ධ උඩුගම් බලා ගිය ආචාර්යවරයෙක්.  මා රුහුණු සරසවිය වෙනන් කළා කියලා මා හිතනවා.

මම පත්වුනේ 2019 මාර්තු.  මෙතන තිබුණ ම්ලේච්ඡ නවකවදයේ අමානුෂික ස්වරූපය  සම්බන්ධව       උපකුලපති ලෙස මා ලජ්ජාවට පත් වුණා. තුවාල වෙච්චි අමානුෂික වද වින්ද ළමයි හිටියා.  වාර්තා සොයලා බලනකොට වර්ෂ 2018 දි නවක වදය නිසා දරුවො  118ක් සරසවිය හැර ගොස් තිබුණා.

ඒක දැක්කට පස්සෙ මම හරි තීන්දු ගත්තා. මට විශාල කණ්ඩායමක් මාත් එක්ක එකතු වුණා. නවක වදයට මගේ  අවම දඬුවම වුනේ නෙරපීම. විධිමත් හා මූළික පරීක්ෂණ හරියටම කරලා නෙරපුවා. වින්දිතයන්ට කිව්වා නඩු දාන්න කියලා.  එහෙම නඩු දාලා හාමුදුරුවරු 4ක් ඇතුළු 19ක් හිරේ ගියා.  කළමනාකරණ පීඨයේ ළමයි 9ක් අස් කළා. කිසිම බලපෑමකට යටත් නොවී නීති පොතේ නීති හරියටම ක්‍රියාත්මක වීම විතරයි කළේ.     සරසවියෙ ළමයි 4500ක් ඉන්නවා. ළමයි 30යි එළියට දැම්මෙ. 4470ක්ම පන්තිවලට ගියා. වර්ෂ 2019 ජූලි 08 දා සිට අද වනතෙක් සරසවියෙ මැරකම් නෑ.“

උපකුලපති අමරසේනයන් කියන්නේ  විගණකාධිපතිගේ ගිනුම්ගත කිරීම්වලදී  මුදල් කළමනාකරණය  නිසි ක්‍රමවේදකයට ගෙන   රුහුණු විශ්විද්‍යාලයට ලබා දෙන සෑම සතයක්ම  අධ්‍යාපනයට යෙදවූ ආකාරයය. ආචාර්ය මණ්ඩලවලට සිදුවන අශිෂ්ට බඳවා ගැනීම් වළක්වා ඇති ආකාරයය.

“සමහර දෙපාර්තමේන්තු තිබිලා තියනවා එක් බඳවා ගැනීමකට නඩු  සංඛ්‍යාව 08යි. මට අති විශිෂ්ට පාලක මණ්ඩලයක් ඉන්නවා.  මේ සියල්ල සාමුහික ඵලයක්“  ඒ හඬේ ගර්වයක් රැඳී තිබිණි. “

මහැදුරු අමරසේනයන්ගේ  ප්‍රිය බිරිය රම්‍යා අමරසේනය. ඇය කොළඹ ‍ජාතික රෝහලේ නිර්වින්දක වෛද්‍යවරියකි.  දරු තිදෙන උසස් අධ්‍යාපනය හදාරා නිම කර සිටිති.

“ ඇය මගෙ සරසවි පෙම්වතිය.  අපි බොහොම කාලයක් ආදරෙන් ඉඳලා විවාහ වුණා.  මගෙ ලොකු පුතා කවීෂ. ඔහු යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්. මේ දවස්වල කැනඩාවේ පශ්චාත් උපාධිය හදාරනවා.  දුව වෛද්‍යවරියක්.  බාල පුතා ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට උපාධි ධාරීව සරසවියෙන් පිට වුණා. ඔවුන් එක්ක ජීවිතය හරිම රසවත්. “

“ මා එක් දෙයක් දකිනවා. මගෙ දරුවොයි රටේ දරුවොයි කියලා මට විශේෂයක් නෑ. මේ පරම්පරාව පිළිබඳ මට තියෙන්නෙ විශාල ආදරයක්. එමෙන්ම ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන් පිළිබඳ වරෙක මා මවිත වෙනවා. සරසවියට එන දරුවොන්ගෙන් සියයට 5ක් පමණයි අධ්‍යාපනය මත පමණක්ම යැපෙන්නෙ.  අති බහුතරය විවිධ හැකියාවන් සහිත ඒ හැකියාවන් ප්‍රගුණ කළ පිරිසක්. ඔවුන් වෙනුවෙන් මා තීන්දු අරන් තියනවා. “ ඔහු මදක් නිහඬ වුනේය.

“ ඔබට මෙය කිව යුතුයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු මිනිහෙක් විදිහට මං මේ රටට ණය නෑ.“

ඒ හඬ දෝංකාර දෙමින් ඇසෙනු දැනුණි.

(2021.07.04  සිළුමිණ රසඳුන අතිරේකයෙන් උපුටා ගැණුනි.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩාවේ පිහිටි වික්ටෝරියා රැජිනගේ සහ එළිසබෙත් රැජිනගේ ප්‍රතිමා බිමට පෙරලා දමයි

Next Post

කොවිඩ් ප්‍රභේද පැතිරීම හිතුවාට වඩා භයානකයි – ජ’පුර සරසවියෙන් අමාත්‍යාංශයට වාර්තාවක්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.