ශ්‍රියානි විජේසිංහ –
විකිරණ තාක්ෂණ නිලධාරියෙකු තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කර නොගෙන විනිවිද භාවයකින් තොරව රුපියල් කෝටි 60ට අධික සී.ටී. යන්ත්‍ර තුනක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කරයි.
නාවලපිටිය, දඹුල්ල හා කුලියාපිටිය රෝහල් තුන සඳහා මෙම සී.ටී. යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.
යන්ත්‍ර මිලදී ගැනීමේ තාක්ෂණික ඇගයීම් කමිටුවට අනිවාර්යයෙන්ම විකිරණ තාක්ෂණවේදී නිලධාරියෙකු පත්කරන මෙන් සෞඛ්‍ය ලේකම්වරයා චක්‍ර ලේඛයක් පවා නිකුත් කර තිබියදී ඉහත රෝහල් තුන සඳහා අදාල සී.ටී යන්ත්‍ර මිලදී ගැනීමට දෙවන වර පත්කල තාක්ෂණ ඇගයීම් කමිටුවෙන් විකිරණ තාක්ෂණවේදී නිලධාරීයා ඉවත් කර ඇති බව හෙතෙම සඳහන් කරයි.
සෞඛ්‍ය ලේකම්වරයා ජිනිවා ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වී සිටින අවස්ථාවකදී තාක්ෂණවේදී නිලධාරීයාව අදාල ඇගයීම් කමිටුවෙන් ඉවත් කළේ කාගේ වුවමනාවටද යන්න ප්‍රශ්නයක් බව සංගමය ප්‍රශ්නකර සිටියි.
තාක්ෂණ ඇගයීම් කමිටුවල අදාල විෂයට සම්බන්ධ පුද්ගලයින් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට යන්ත්රසූත්ර, උපකරණ හා රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීම් වෙනුවෙන් විශාල වශයෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් සිදුකර ඇති බව ද සංගමය දිගින් දිගටම පෙන්වා දුන් බවද චානක මහතා පැවසුවේය.







