කොවිඩ් ආසාදනය වී සිටිනා තැනැත්තන් ස්නානය කිරීම නුසුදුසුබව මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන මතය කිසිම විද්‍යානුකූල සත්‍යතාවයක් නැති පදනම් විරහිත එකක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය ඉන්දික කරුණාතිලක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ බී.බී.සී. සේවය සමග පසුගිය දා සංවාදයකට එක් වෙමිනි.
නෑම ඉතාම වැදගත්
“කොවිඩ් රෝගය වැළඳුනාම පිරිසිදුව සිටීමත් ඉතාම වැදගත්. (ස්නානය නොකර සිටීමට) කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. සමහර වෙලාවට, සංස්කෘතියේ අදහසක් තියෙනවනේ මෙන්න මේ වගේ අමාරු තියෙනකොට නාන්න හොඳ නෑ කියලා. මම හිතන්නේ ඒක වෙන්න ඇති මේ අදහසට ගොඩක් බලපාලා තියෙන්නේ,”
“මෙතන දී අපට කියන්න තියෙන්නේ, හිතේ සැකයක් තියෙනවා නම්, මුලින් දවල් වෙලාවට හරි කමක් නෑ ටිකක් රස්නේ වතුර ටිකක් නාලා, ඊට පස්සේ ටික ටික නාන්න පුරුදු වෙන්න කියන එක. මොකද ඇත්තටම මේ නිසා හමේ ආබාධ පවා ඇතිවූ රෝගීන් අපට හමුවෙනවා අපට ලැබෙන දුරකථන ඇමතුම් මඟින්.”
“රෝගය පාලනය කිරීමට මහජන සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත් අපට කියන්න තියෙන්නේ එක පණිවිඩයක් – පිරිසිදුව සිටීම මෙම රෝගය පාලනයකර ගැනීමටත් සුවකර ගැනීමටත් ඉතාම වැදගත් කියන එක.”
එමෙන්ම ජාතික මහ රෝහලේ ශ්වසන විශේෂඥ වෛද්‍ය ආර්. ආශා සමරනායක බී.බී.සීය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.
ඔය මතය විද්‍යාත්මක නෑ…
“ඔය මතය විද්‍යාත්මක නැහැ. සිංහල වහරේ මතයක් තියෙනවනේ නියුමෝනියාවට නාන්න එපා කියලා, සිංහල බෙහෙත් බොනකොට නාන්න එපා කියලා කියනවා. එහෙම ආපු මතයක් වගේ දෙයක් තමයි ඔය නෑම ගැන තියෙන අනියත බය.”
“හැබැයි ඉතාම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවනි ගොඩක් තද පීනස පාලනය නොවෙච්ච, බෙහෙත් නොගෙන, එහෙම නැත්නම් තදට ඇදුම තියෙන අය. සාමාන්‍යයෙන් ඇඟේ උෂ්ණත්වය චුට්ටක් අඩු වුණාම, නුවරඑළිය පැත්තේ වගේ සීතල වතුර නෑවම කැස්ස එන්න පුළුවන් ගතියක් තියෙනවා.”
“ඒකෙන් කියන්නේ නෑ නියුමෝනියාවට එනවා කියලාවත්, ඇදුම යි පීනස යි දරුණු වෙනවා කියලාවත්. පොඩි වෙලාවක් තමයි එහෙම වෙන්නෙත්, අපේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය වෙනකල්… නෑවම අමාරු වෙනවා කියන එක වැරදි මතයක්,”
“මිනිස්සු ‘සෙම එනවා’ කියලා ගොඩක් වෙලාවට කියන්නේ අසාත්මික පීනස වගේ රෝගී තත්ත්වයන්ට. ඕවයේ දී, අසාත්මිකතාව ඇති කරන මූලයක් තියෙනවා. ඒ කියන්නේ, සමහරුන්ට කිරි බිව්වම ‘සෙම’ වැඩිවෙනවා. ඒක ඇත්ත. ඊළඟට ඔය වම්බොටු, බන්ඩක්කා කෑවම, සමහරුන්ට බිත්තර, යෝගට් කෑවත් එහෙම වෙනවා. හැබැයි හැමෝටම නෙවෙයි…”
අයි.සී.යූ ලෙඩඩුත් නාවනවා…
“‘අසාත්මික පීනස’ කියන එක නෙවෙයිනේ කොවිඩ් නියුමෝනියාව කියන්නේ. ඒක වෙනම දෙයක්. මේක ඔය ‘සෙම’ ගණයට වැටිච්ච දෙයක් නෙවෙයි, මේක විෂබීජයකින් එන නියුමෝනියාවක්. එයට කෑමේ හෝ නෑමේ කිසිම සම්බන්ධයක් නැහැ.”
ඕනෑම රෝගයක් සුවවීමටත්, මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටත් පිරිසිදුව සිටීම ඉතාම වැදගත්. වෛද්‍ය සමරනායක අවධාරණය කළා ය. දැඩි සත්කාර ඒකකවල සිටිනා රෝගීන් පවා ස්නානය කරවන්නේ නම්, කොවිඩ් වැළඳුණු රෝගියෙකු පිරිසිදු වීමෙන් වැළකීමට හේතුවක් නැතැ යි ඇය පැහැදිලි කළා ය.







