කහ තිත් පළගැටියා ශීඝ්‍රයෙන් පැතිර යන හෙයින් සේනා දළඹු හානියටත් එහා ගිය බරපතල හානියක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් වයඹ පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරයා ගොවීන් ගෙන් ඉල්ලා සිටියි.
වගා හානියට පෙර දැනුවත් කිරීම මගින් හානිය අවම කර ගැනීමේ අදහසින් ලංකාසර ට අදහස් දක්වමින් කෘෂිකර්ම අධ්යක්ෂ වරයා තව දුරටත් මෙසේ අදහස් දැක්වූයේ ය.
“මෑත කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම , පොල්ගහවෙල , වෑඋඩ, හා කටුපිටිය ප්‍රදේශයෙනුත් මේ කහ තිත් පළගැටියා වාර්තා වුනා. හානිය උපරිමයි. මේ කන්නයේ හා ඉදිරි කාලය තුළ ගොවීන් තම වගා ආරක්ෂා කර ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා . මේ පළගැටියා Aularches Miliaris යන නමින් හඳුන්වනවා. ORTHOPIERA ගෝත්‍රයේ ACRIDIDAE කුලයට අයත් මෙම ජීවියා විටින් විට මෙසේ ශීඝ්‍රයෙන් පැතිරෙනවා.
මේ කෘමීන්ගෙන් හානියට ලක් වන ශාක අතර එළවළු , අතිරේක ආහාර බෝග, කෙසෙල්, පොල්, පුවක්, කිතුල්, කොස්, දෙල්, වනසපු, ගිනිසපු, තේක්ක වැනි ශාකත් හඳුන්වා දිය හැකියි………
මේ සතාගේ බාහිර ස්වරූපයට අනුව වැඩුනු කහ තිත් පළගැටියා මිලිමීටර් 35 – 60ක් පමණ දිගින් යුක්ත වෙනවා. පූර්ව පියාපත් ගොම කොළ පැහැති වන අතර ඒවා මත කහපාට තිත් දැකිය හැකි වෙනවා .මේ කෘමියාගේ උදරය කළු හා රතු පැහැයෙන් යුත් අතර පාදවල දැලක ආකාරයට කහ තිත් දැකිය හැකි වෙනවා..
හානියේ ස්වභාවය මෙහෙමයි…, බිත්තර වලින් පිටවන ශිෂුවන් ඉතා ක්‍රියාශීලි යි. බිත්තර වලින් පිටවූ වහාම බිම ඇති වල් පැළෑටි ආහාරයට ගන්නවා. පළමු මාසය තුළ ආහාර ගන්නේ සුළු වශයෙන්. වැඩුණු කෘමියෙකු බවට පත් වීමට පෙර මෙම ජීවීන් අවස්තා පහක දී සැව හරිනවා. වරක් හෝ දෙවරක් සැව හැරීම කර කෘමීන් ගස්වල කඳන් දිගේ මුදුනට ගොස් පත්‍ර කා දමනවා.
කහ තිත් පළගැටියා පාලනය කිරීම සම්බන්ධයෙන් පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ වරයා මෙසේද පැවසුවේ ය…
මෙම තත්වය පාලනයේදී බෝගවලට හානි නොවන අයුරින් කොළ රොඩු දමා ගිනිතැබීමෙන්, ශිෂුවන් හා බිත්තර කැදලි විනාශ කර දැමීමෙන්, මෙන්ම හිරු එළියට නිරාවරණය කිරීම හා කුරුල්ලන් ආහාරයට ගැමෙන් පාලනය කර ගත හැකියි. රසායනික පාලනයේදී කාබසල්පාන් නැමති රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් ද මේ තත්වය පාලනය කරගත හැකි වෙනවා…”







