තමන්ගේ කොට්ඨාසය ජයග්‍රහණය කරීමට නොහැකි වූ අපේක්ෂකයෙක් කොළඹ නගරාධිපති තනතුරට නම් කිරීම නොසුදුසු බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ පක්ෂ සමග එක්ව ගොඩනගන කොළඹ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා සමගි ජන බලවේගේය පළාත් පාලන මැතිවරණයේ දී නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ ශේෂඥ වෛද්‍ය රුවේයිස් හනීෆා නොවන බවත් සමගි ජන බලවේගය පවසයි.
ඒ තත්ත්වය තුළ ඉදිරි දින කීපය ගතවන තුරු සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා මෙන්ම නියෝජ්‍ය නගරාධිපති අපේක්ෂකයා ද හෙළි දරවු නොකර සිටීමේ ප්‍රතිත්තියක පක්ෂය සිටින බව ද සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා කියයි.
අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසුවේ ඉදිරි දින කීපය තුළ දී තම පක්ෂයට සහාය පළ කරන පක්ෂ සහ කණ්ඩායම් එක්ව සමගි ජන බලවේගයට සහාය පළ කරන අපේක්ෂකයෙක් නගරාධිපති ධූරය සඳහා පත් කරන බවය.
නලීන් බණ්ඩාර මෙසේ ද කීවේය.
“තව දවස් දෙකක් තුනක් ඇතුළත අපි කණ්ඩායම රැස් කරනවා. ඒ වේගම අපි සහයෝගය දෙන මන්ත්‍රීවරුත් රැස් කරනවා. ඊට පස්සේ පොදු එකඟතාවයෙන් වැඩි කැමැත්තක් තියන මේ වැඩේ කරන්න පුලුවන් නගරාධිපතිවරයෙක් නම් කරනවා අපේ පාර්ශවයෙන්. ”
මාධ්‍යය – හනීෆා මහත්තයා නේද නගරාධිපති අපේක්ෂකයා.
නලීන් බණ්ඩාර – අපි හිතනවා කොට්ඨාසයක් පරාජය වෙච්චි අපේක්ෂකයෙක් නගරාධිපති ධූරය දරන්න තරම් සුදුසු නෑ කියලා.
මාධ්‍ය – එතකොට පොදු ජන පෙරමුණට මොනව දෙන්නේ.
නලීන් බණ්ඩාර – නගර සභාවේ කමිටු 20කට ආසන්න ප්‍රමාණයක් තියනවා. බොහොම ප්‍රබල කමිටු. වැඩ කරන්න පුලුවන් කමිටු. මේ සියලු පක්ෂවලට කොළඹ මහ නගර සභාවේ වැඩ කරන්න පුලුවන් අවස්ථාවක් හදනවා…
කෙසේ වෙතත් අද මාධ්‍ය අමතමින් සමගි ජන බලවේග ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා ප්‍රකාශ කළේ කොළඹ නගරාධිපතිවරයා පිළිබඳ හෙළිදරවු නොකර සිටින්නැයි වගකිවයුතු අය තමන් උපදෙස් ලබා දුන් බවය.
“සමගි ජන බලවේගයේ අපේක්ෂකයා මම දන්නවා. මට එය කියන්න බෑ. එය කියන්න අයිතියක් නෑ. ඒ සම්බන්ධව බලධාරීන් ලෙස කටයුතු කරන වගකීම් දරන දේශපාලඥයින් මට දීපු උපදෙස් තමයි දැනට නගරාධිපති නමට ගෙනත් තියන නම සහ උප නගරාධිපති තැනට ගෙනත් ඇති තැනැත්තාගේ නම් හෙළි දරවු නොකරන ලෙස. ”







