පසුගිය නොවැම්බර් මස 07 වැනිදා කොටහේන ප්‍රදේශයේ දී ඇවිද යන පුද්ගලයෙකුගේ පිටුපසින් පැමිණ හිසට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ වෙඩික්කරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
මෙම ඝාතනය මෙන්ම ඝාතකයින් මෝටර් රථයකින් පලා යන අන්දම සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.
ඝාතනය සිදු කළ පිරිස පිස්තෝලය හා මෝටර් රථය කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ දමා එතැනින් මීගමුවට පැමිණ තවත් මෝටර් රථයකින් යාපනයට පැමිණෙද්දි අත් අඩංගුවට ගනු ලැබු අතර සිද්ධියට අනුබල දුන් බවට සැක පිට තවත් පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වූයේය.
කෙසේ වෙතත් ඊයේ (19) දිනය වනතෙක් මෙම ඝාතක වෙඩික්කරු අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ නැත.
එම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ කොළඹ අපරාධ කොට්ඨාසය අපරාධකරු අත් අඩංගුවට ගන්නේ ඊයේ (19) හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ය.
සැකකරු වයස අවුරුදු 39ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හසලක දී අත් අඩංගුවට පත්වන සැකකාර වෙඩික්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයා ගෙන ඇත.
සැකකරුව පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







