කීර්ති ප්‍රනාන්දු –
ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් පිළිකාකාරයකය ඇති බව තමන් ප්‍රකාශ කළේ රජයේ රස පරීක්ෂක වාර්තාව පදනම් කරගෙන බවත් අගොස්තු මාසයේ මහජන පරික්ෂකරුන් විසින් ලබාගත් ත්‍රිපෝෂ සාම්පල් 08ක් රජයේ රස පරීක්ෂකට යොමුකර ලබාගත් වාර්තාව අනුව එම ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් අධි මාත්‍රාවෙන් අන්තර්ගත වී ඇති බව තහවුරු වූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ලංකාසරට ප්‍රකාශ කළේය.
අද පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශයක් කරමින් පැවසුවේ ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට කළ ප්‍රකාශය ජනතාව බිය ගන්වන නින්දාසහගත කුමන්ත්‍රණයක් බවය. ඇමතිවරයා වැඩිදුරටත් කීවේ මේ ප්‍රකාශ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය. ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් නොමැති බව තමන් වගකිමකින් ප්‍රකාශ කරන්නේ යැයි සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.
මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී උපුල් රෝහණ ප්‍රකාශ කළේ මේ වසර මුල පුද්ගලික සමාගම් විසින් වෙළෙඳපලට නිකුත් කළ “පෝෂ “ ලෙස නම් කෙරෙන ළමා අතිරේක ආහාර සාම්පල් 10ක ඇෆ්ලාටොක්සීන් පවතින්නේ යැයි තහවුරු වීම මත පදනම්ව අගොස්තුවේ දී ත්‍රිපෝෂ සාම්පල් 08ක් ද ලබාගෙන රජයේ රස පරීක්ෂවරයා වෙත යොමු කළ බවත් ඒ වාර්තාව අනුව ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් ඇතැයි තහවුරු වූ බවත්ය.
කෙසේ වෙතත් මෙම පුද්ගලික ආයතනවල ඇෆ්ලාටොක්සීන් අන්තර්ගත පෝෂවර්ග සම්බන්ධව තමන් සිදුකළ පැහැදිලි කිරීම මාධ්‍ය විසින් වාර්තා නොකිරීම අඩුවක් බව ද ඔහු කීවේය.
මහජන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මේ සම්බන්ධව ලංකාසරට පැහැදිලි කළේ මෙසේය.
“මා ඊයේ සිදුකළේ රසායනාගාර වාර්තා මත පදනම් වූ ප්‍රකාශයක්. ඊයෙ මාධ්‍ය අපෙන් ඇහුවෙ ඇයි බෙදපු ත්‍රිපෝෂ යළි එකතු කරගන්නෙ ගන්නෙ කියලා. ඒ පිළිබඳව සොයා බලද්දි තමයි අපටත් මේ තත්ත්වය පැහැදිලි වුනේ. “
“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අගෝස්තු මාසෙ ත්‍රිපෝෂ සාම්පල් කරලා රජයේ රස පරීක්ෂකවරයාට යවා තිබුණා. ඉන් සාම්පල් අටක රිපෝට් තියනවා. එම රිපෝට්වල බොහොම පැහැදිලිව තියනවා මේ ත්‍රිපෝෂ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ත්‍රිපෝෂ කියලා.“
“එහි ඇෆ්ලාටොක්සීනි මිලියනට කොටස් සියය ඉක්මවූ බව වාර්තා තියනවා. තිබිය යුතු ආරක්ෂිත ප්‍රමාණයකට වඩා ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණය තුන් ගුණයකට ආසන්නව වැඩියි. ඒවා මනුෂ්‍ය පරිභෝජනයට ඉතා නුදුසුයි.“
“මේ ත්‍රිපෝෂ වගකීමක් නැතිව බෙදලා… දරුවන්ට, කිරි දෙන අම්මලාට ගැබිනි මව්වරුන්ට අෆ්ලාටොක්සීන් තියන ත්‍රිපෝෂ බෙදපු එක වරදක්. ඒ වරද නිවැරදි කරගන්න කියලයි අපි කිව්වේ. වගකීමකින් තොරව කටයුතු කරපු නිලධාරීන්ට දඬුවම් දෙන්න කියලයි අපි කිව්වෙ ඒක. මේ වැඩේ වෙන දියුණු රටක සිද්ධ වුනා නම් වෙන තත්ත්වය මොකක් ද?. මේ නිලධාරින් සෞඛ්‍ය අමාත්‍යවරයා නොමග යවලා තියන බව මා විශ්වාස කරනවා.“
‘හැබැයි ඇත්තටම ඇමතිවරයා කළ යුතු හොඳම දේත් මේ සම්බන්ධව විධිමත් අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන එක තමයි. මම ඊට සූදානම්. මා කළේ රජයේ රස පරීක්ෂවරයා විසින් නිකුත් කළ විද්‍යාත්මක වාර්තා මත පදනම්ව සිදුකළ ප්‍රකාශයක්. ඒ වාර්තා මගෙ ලඟ තියනවා.“
“ඒ වගේම කිව යුතුයි. මා කළ ප්‍රකාශ අද ආහාර කොමසාරිස්වරයා තහවුරු කළා. ආහාර කොමසාරිස්වරයා මාධ්‍යයට කිව්වා යම් සිදුවීමක් මාස එක හමාරකට කලින් සිද්ධවුනා කියලා.“
ඒ වගේම ත්‍රිපෝෂවල මේ සාම්පල් ගන්න හේතු වුනේ වෙළෙඳපලේ පෞද්ගලික අංශයේ නිශ්පාදන දහයක ත්‍රිපෝෂවලට සමාන ආහාර අතිරේකවල අෆ්ලාටොක්සීන් අධි මාත්‍රාවෙන් ඇති බව තහවුරු වුන නිසා.
ඒ එක්කම ත්රිපෝෂවලම වෙළෙඳපල නිශ්පාදනය වූ සුපෝෂවලත් ඇෆ්ලාටොක්සීන් පොසිටිව් වුනා.
ඒ නිසා තමයි අගොස්තුවේ දි මේ ත්‍රිපෝෂ සාම්පල් ගත්තේ. නමුත් මාධ්‍යය වාර්තා කරන විට මේ පුද්ගලික අංශයේ නිශ්පාදනවල පිළිකා කාරක අඩංගු බවට වූ කොටස කිව්වෙ නෑ.
ඔහු පැහැදිලි කළේය.







