පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී මහාචාර්ය සමන් ධර්මකීර්තිය. ඔහු පසේ පෝෂක කළමනාකරණය සහ පසේ සරුබව පිළිබඳ අන්තර්ජාතික තලයේ පර්යේෂණ රැසක් සිදුකළ මේ සම්භාවනී විද්වතෙකි.
එහෙත් ඔහු ඇතුළු විදවත් පර්ෂදයන් සිටිය දී දොස්තර මහත්තුරු හාමුදුරුවරු රටේ කෘෂීකර්මය ගැන තීන්දු ගනිති. තීන්දු ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙති. රට දැන් අග මුල පටලවාගෙනය. අපට මේ විද්වතුන්ගෙන් අහන්නට අවශ්‍ය වුනේ ඔබ බල්ලාගේ වැඩේ බූරුවාට බාර දී බලා සිටීමේ පවට කරගසා තිබේද යන්නය.
අපි මහාචාර්ය සමන් ධර්මකීර්තිව විමසුවෙමු. මේ ඔහු සමග ඒ අරභයා ලංකාසර පැවැත්වූ කෙටි සම්මුඛ සාකච්ඡාවකි.
-
ඔවුන් ඔවුන්ගේ උපකල්පන මත පිහිටා අන් මත නොවිමසා තීන්දු ගන්නවා. මේ අප භුක්ති විඳින්නේ අන් මතවලට ඇහුම්කන් නොදීමේ ප්‍රතිවිපාක
-
වකුගඩු රෝගවලට හේතුව රසායනික පොහොර නොවෙයි… එය සාධක ගණනාවක එකතුවක්. රජරට පැතිරෙන වකුගඩු රෝගයට හේතුව රසායනික පොහොර කියලා කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් මෙතෙක් ඔප්පු කර නෑ.
-
පොහොර ආනයනය තහනම් කළේ ඔප්පු නොකළ ඉතාම වැරදි උපකල්පිත මතවාදයක් මත පිහිටලා… අඩුම ගානෙ ක්ෂේත්රයේ විද්වතුන් කියන්නෙ කුමක් දැයි අහන්න සූදානම් නම් කාබනික ගොවිතැනත් ප්‍රායෝගික යථාර්ථයක් කරගත හැකියි… තවමත් මේ රට ගොඩ ගන්න ප්‍රමාද නෑ.

මහාචාර්ය සමන් ධර්මකීර්ති
ඔබ ගේ විශේෂඥ විෂය පථය කුමක් ද?
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ගෞරව උපාධියක්… එහි අනු විෂයක් ලෙස පාංශු විද්‍යාව යටතේ ආචාර්ය උපාධියක්. විශේෂඥතාවය තියෙන්නෙ පසේ පෝෂක කළමනාකරණය සහ පසේ සරුබව පිළිබඳ පර්යේෂණ සඳහා.
ඊට අමතරව පසට එකතු කරන ලද ද්‍රව්‍ය සහ ඒවා නිසා පසට සිදුවන හානිය පිලිබඳවත් ඒ හානිය අවම කරගැනීම සඳහාත් පර්යේෂණ සිදුකරමින් සිටිනවා.
ඔබේ විෂය තුළ ඔබ කරලා තියන අන්තර්ජාතික මට්මින් පිළිගත් පර්යේෂණ මොනව ද?
සියලුම පර්යේෂණ අන්තර්ජාතිකව පිළිගත් පර්යේෂණ තමයි. ඒක නිසා අන්තර්ජාතිකව පර්යේෂණ පත්‍රිකා රැසක් ඉදිරිපත් කර තියෙනවා.
ශ්‍රී ලංකාවේ ජීව අඟුරු පසේ සරු බවට යොදාගත හැකි ආකාරය පිළිබඳව පර්යේෂණ සිදු කරමින් තොරතුරු ලබා දීලා තිබෙනවා.
මෙතනදි තව දෙයක් කියන්න ඕනේ. හරිතාගාර වායු මත කාබන්ඩයොක්සයිඩ් පසේ තිර කර ගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් සහ පොස්පරස් අවභාවිතය මත ඇතිවන තත්ත්වයන් වල දී ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබඳව මා පර්යේෂණ රැසක් සිදු කළා.
කාබනික කෘෂිකර්මයක් සඳහා රට සූදානම් වෙනවා. ඊට තුඩුදුන් ප්‍රධානම අදහස රසායනික පොහොර යෙදවුම් නිසා රජරට ඇති වූ බව කියන වකුගඩු රෝගය. ඒත් ඔබ කියනවා රසායනික පොහොර වකුගඩු රෝගය සඳහා බලපාන්නෙ නෑ. ඔබ ඔබ තහවුරු කර කියන්නෙ කොහොමද රසායනික පොහොර වකුගඩු රෝගවලට බලපාන්නෙ නෑ කියලා.
2012 සහ 2013 වසරවල ට පසුව මම මේ ගැන පර්යේෂණ පත්‍රිකා රැසක් අධ්‍යයනය කළා. අන්තර්ජාතිකව පලවන පර්යේෂණ පත්‍රිකා රැසක් විශ්ලේෂණය කරද්දී පැහැදිලිව පෙනෙන්නට තියෙනව පොහොර සහ වකුගඩු අතර සෘජු සම්බන්ධයක් නැහැ කියල. ඇත්තෙන්ම සෘජු සම්බන්ධයක් ඇති ඇති බවට සාධක නැහැ . වර්තමාන මතය වකුගඩු රෝගය ඇති වන්නේ එක හේතුවක් පමණක් නිසා නෙවෙයි කියන එකයි විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවන ඇත්ත.
වකුගඩු රෝග ඇති වන්නේ හේතු ගණනාවක් නිසා. බහු සාධකවල අන්තර් ක්‍රියාවලියක් හේතුවෙන් වකුගඩු රෝග ඇති වෙන බවට මේ වන විට පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා.
තවත් මතයක් ප්‍රචලිත වුණා පොහොරවල තිබෙන බැරලෝහ හේතුවෙන් ඒවා ජලය සමග එක්වී වකුගඩු රෝග ඇති වෙන බවට. නමුත් රසායනික පොහොර යොදා වගා කළ බිම්වල පස් සාම්පල පරීක්ෂා කරද්දි තහවුරු වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කර ඇති ප්‍රමාණයටත් වඩා ඉතා අඩු අගයකින් ඒ පස්වල බැරලෝහ තිබෙන වගයි. එය අපට ගණනය කිරීම් වලදී සනාථ වුණා.
ඔබ කියන්නෙ තහවුරු නොකළ මතයක් මත පිහිටා රටට රසායනික පොහොර ගෙන ඒම තහනම් කළ බව ද?
ඔව්… විද්‍යාත්මකව තහවුරු නොකළ උපකල්පන මත අප රටක් ලෙස තීන්දු අරන් තියනවා.
ඔබ කාබනික ගොවිතැනට එරෙහි රසායනික පොහොර වෙනුවෙන් පෙනී ඉන්න පොහොර සමාගම් නියෝජිතයෙක් ද?
(සිනාසෙයි) කවුරු මොනා අදහසකින් මා ගැන කතා කළත් මට වැදගත් නෑ. ඇත්තටම අදාල වෙන්නේ නෑ. මම පවසන දෑ වටහාගෙන අවබෝධ කරගෙන තීරණ ගැනීම පමණයි වැදගත් වෙන්නේ.
බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කවුරු මොනවා කිව්වත් ඒ විදිහටම පිළිගන්න එපා. ඒ ගැන සිහියෙන් බුද්ධියෙන් විචාරාත්මක විමසලා පිළිගන්න කියලා.
දොස්තර පාදෙණිය අවුරුදු ගණනක් මේ රසායනික පොහොරවලින් සිදුවන හානිය ගැන කියනවා. රතන හාමුදුරුවො ඒක කියනවා. එහෙනම් ඔවුන් හදලා තියෙන්නෙ වැරදි මතවාදයක්. වැරදි මතවාදයක් හදලා රට තුළ තහවුරු කරනකම් ඔබ මොනවද කළේ?.
කවුරු හරි මතයක් ඇති කරනවා නම් ඒවා සාධක මත තහවුරු කළ හැකි මත විය යුතුයි. මගේ මූලධර්ම වන්නේ යම් දෙයක් පිළිබඳ පර්යේෂණ කරල සෑහීමකට පත් වීමෙන් පසුව පමණක් සෘජු ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි කියන එකයි. නිශ්චිත නිවැරදි පර්යේෂණ දත්ත නැතිව යමක් පිළිබඳ කතා කිරීම මගේ සිරිත නොවෙයි.
ඇතැමුන් සමාජයේ මතයක් ගොඩ නැගුවා වකුගඩු රෝගයට පොහොර භාවිතය හේතුවන බවට. මේ මතය සමාජ ගත වන කාලය වෙද්දී පොහොර සහ වකුගඩු රෝග සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කරලා තිබුණේ නැහැ. පර්යේෂණ සිදු කරද්දී ඊට සහය දීපු කොටසක් තමයි මේ කතාව පුම්බලා උලුප්පලා රට තුළ එවැනි චිත්‍රයක් මවා පාන්න කටයුතු කළේ. ඒ අය නිවැරදි දෙයක් කතා කළා නම් රට තුළ සැක සහිත මතයක් උපදින්නේ නැහැ.
මම හැමවිටම කතා කරන්නේ පර්යේෂණ දත්ත පර්යේෂණ සාධක නිගමන මත පමණයි. එවන් මත සමාජ ගත වන කාලේ අපි මේ සම්බන්ධයෙන් සිදුකර ඇති පර්යේෂණ පිළිබඳ අවධානය යොමු කළා. එහි සත්‍යතාවයන් පිලිබඳ කතා කළා. විද්‍යාර්ථයින් විදිහට පර්යේෂකයින් විදිහට අපට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කරුණු රටක නීති පද්ධතියට හෝ තීරණ ගැනීම් වල දී හෝ යොදා ගැනීමට ඒ පුද්ගලයො වගබලා ගත යුතුයි.
දැන් අපට කියන්න. බොරු කියන්නෙ පාදෙණියල ද?. ඔබ ද?.
එය ඇසිය යුත්තේ සමාජයෙන්. ශ්‍රී ලංකාව තුළ සිටින හැම පුද්ගලයෙක්ම දැනුමින් පරිපූර්ණ නැති බව ඇත්ත. එත් කෘෂිකර්මය වැනි විෂයක් සම්බන්ධව ඔවුන් අත්දැකීමෙන් අවබෝධ කරගත්තු යම් විචාරශීලී පිරිසක්. ඒ නිසා ඇත්ත කතා කරන්නේ කවුද, බොරු කියන්නෙ කවුද කියලා කෙනෙක් අහන්නවා නම් ඒ අහන්න ඕනේ ජනතාවගෙන්.
ඔබ පාංශු විද්‍යාව සහ පොහොර යෙදවුම් පිළිබඳව මේ රටේ ඉන්න විද්වතෙක්. දැන් පොහොර පිළිබඳව ගනු ලැබූ වැරදි තීන්දු නිසා රටම අනතුරක. මේ තත්වය ඇති වෙන්නෙ වෘත්තිකයෙක් විදිහට ඔබ ඔබේ වගකීම පැහැර හැරිය නිසා නේද?.
මා එය ප්‍රතික්ෂේප කරනවා.
මම ශිෂ්‍ය ප්‍රජාවට අලුත්එවෙන දැනුම ලබා දීමත් ජීවිත කාලය පුරාවටම ශිෂ්‍යයෝ නව දැනුම සොයා යන පිරිසක් බවට පත් කිරීමටත් කටයුතු කරන අයෙක්. ඒ වගේම මා නව දැනුම සොයා යනවා. පර්යේෂණ කරනවා. විද්‍යාත්මක තොරතුරු නිවැරදි ලෙස සමාජගත කරනවා. මේ කාරණා සියල්ල මම නොපිරිහෙලා ඉටු කර තිබෙනවා සහ ඉටු කරනවා.
ඒ නිසා මම මගේ වෘත්තීය ට සාධාරණ ලෙස වගකීම් ඉටු කළ අයෙක් බව මම අවබෝධ කරගෙන ඉන්නේ. වෘත්තිකයන් තමන්ගේ විද්‍යාත්මක දැනුම මත සාධක සහිතව කියන කාරණා නොඇසීම, නොසලකා හැරීම වෘත්තිකයන්ගේ වරදක් නොවන බව ඔබට කිව යුතුයි.
අපට පෙනෙන විදිහට ඔබේ වෘත්තිය වෙන අය පවරගෙන. ඔබ ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්රයේ වෘත්තිකයන් දැන් කරන්න හදන්නෙ මොනව ද?.
මගේ වෘත්තිය මම වෙන අයකුට පවරලා නැහැ. මා ඇතුළු වෘත්තිකයෝ විද්‍යාත්මක සාධක හා පර්යේෂණ මත සනාථ කරන තොරතුරු එහෙම නැත්නම් සාක්ෂි මත පදනම් වූ තීරණ ගන්නා පිරිසක් .
යම් හෙයකින් රජයේ හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන් ගන්නා තීරණය වැරදි නම් අපි ඊට මැදිහත් වෙනවා. දැනටත් ඒ දේ සිද්ධ වෙනවා. පරිණත සහ පළපුරුද්ද ඇති කණ්ඩායමක් විදිහට අපි එක්වෙලා ජනාධිපතිවරයා වෙත සන්දේශයක් ඉදිරිපත් කළේ ඒ නිසා.
විද්‍යාඥයින් විද්‍යාර්ථීන් සහ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් 141 දෙනෙකුගෙන් යුත් අපේ කණ්ඩායම ඉල්ලා සිටින්නේ නිවැරදි දේ රට තුළ ක්‍රියාත්මක කරන්න කියන එක. අප පැත්තකට වෙලා ඉන්නේ නෑ. පුළුවන් හැම වෙලාවෙම මේවට මැදිහත් වෙනවා.
අවසාන වශයෙන් අපට කියන්න. මේ විදිහට රට ගොඩ නැගිය හැකි ද?
රටක් නිවැරදි දැක්මකින් දිරියට යන්න නම් අවශ්‍ය වෙලාවට නායකත්වය නම්‍යශීලී විය යුතුයි. සුදුසු අවස්ථාවලදී සෘජු තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒ වගේම අන් මතවලට ඇහුම්කන් දිය හැකි හැකියාවක් තිබිය යුතුයි.
යමක් සිද්ධ වෙනවා නම් ඒ එක් හේතුවක් නිසා නොවෙයි, එය සිද්ධ වෙන්න හේතු කීපයක් බලපාන්න පුළුවන් කියන එක අප දන්නවා. ඒත් සිදුවිය හැකි අනෙක් විශාල හේතු ප්‍රමාණයක් බැහැර කරලා ඔවුන්ගේ උපකල්පනය මතම තමයි ඔවුන් තීරණ ගන්නේ. මේ අප මුහුණ දී ඇත්තෙ ඉන් ඇතිවුණු අර්බුදයකටයි.
මේ අවස්ථාවේ රට ගොඩ ගන්න නම් වෙනස් මතවලට ඉඩ දෙන පෞරුෂයක් නායකත්වය තුළ තිබිය යුතුයි. ඒ වෙනස දැනට පේන්න නැහැ . නමුත් මේක එකතුවෙලා කරන්න තාමත් කල් තියෙනවා.
රටේ දියුණු කෘෂි කර්මාන්තයක් පවත්වාගෙන යන්න නම් එක් පැත්තක් පමණක් සිතමින් තීරණ ගන්න බෑ. මොකද විද්‍යාත්මකව පර්යේෂණ මගින් තහවුරු කොට තිබෙනවා ඉතා හොඳ අස්වැන්නක් සහ ඉතා හොඳ ආර්ථිකයක් පවත්වාගෙන යාමට නම් රට තුළ කාබනික රසායනික සහ ජෛව පොහොර යොදමින් ඒකාබද්ධ කළමනාකරණක් කළ යුතු බව.
එවැනි ක්රමයකටයි අපේ රටේ කෘෂිකර්මාන්තය යොමු කළ යුත්තේ.








