වියට්නාම් මුහුදේ දී මුදාගෙන රඳවා සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 151 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යළි මෙරටට පිටුවහල් කර තිබිණි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ, ඊයේ (27) රාත්‍රියේ මෙම පිරිස විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි බව ය.
එම පිරිසේ එක් එක් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර ඉදිරි විමර්ශන සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රටින් පිටවී යෑම සඳයා යොදාගත් යාත්‍රාව යාන්ත්‍රික දෝෂයකට ලක්ව මහ මුහුදේ ගසාගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 303ක් වියට්නාම් මුහුදේ දී මෙසේ බේරා ගැනුණි.
ඔවුන්ගෙන් 151 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වීමෙන් පසු වියට්නාමයෙන් පිටුවහල් කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මහ මුහුදේ දී ගලවාගත් අතීත කතාව

පසුයි නොවැම්බර් මස 07 වැනිදා LADY R3 නම් ධීවර යාත්‍රාවක් මුහුදේදී අනතුරකට ලක්වී Vung Tau කේප් ප්‍රදේශයේ ගිනිකොන දෙසින් නාවික සැතපුම් 258ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ විපතට පත්ව ඇති බවට එම නාවික යාත්‍රාවෙන් නිකුත් වූ පණිවියක් ශ්‍රීලංකාවේ සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලැබිණි.
ඔවුන් මේ තත්ත්වය පිළිබඳව වියට්නාමයේ සමුද්‍ර ගලවා ගැනීමේ මධ්‍යස්ථානය දැනුම්වත් කළේය.
ප්රවෘත්ති ලැබීමෙන් පසු, වියට්නාමයේ සමුද්‍ර ගලවාගැනීමේ මධ්‍යස්ථානය සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ජාත්‍යන්තර ගලවා ගැනීමේ ආයතන සමඟ තොරතුරු තහවුරු කරගැනීමට සහ උපකාර සඳහා ජාත්‍යන්තර නැව් ඇමතීමට සමීපව කටයුතු කළේය.
ජපානයේ හීලියෝස් ලීඩර් නෞකාව ඒ ආසන්නයේ ගමන් කරන බව සොයා ගත් මධ්‍යස්ථානය නෞකාවේ දිශාව කඩිනමින් වෙනස් කර LADY R3 යාත්‍රාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමට සහය වන ලෙස ඉල්ලා සිටියේය.
තම කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිට මියන්මාරයට ගොස් එතැන් සිට මුහුදු මාර්ගයෙන් කැනඩාවට යාමට LADY R3 බෝට්ටුවට ගොඩ වූ බව ශ්‍රී ලාංකිකයෙකු පවසා තිබිණි.
ශ්‍රී ලාංකිකයන් 303 දෙනාම මියන්මාරයට ගිය ආකාරය සම්බන්ධව තවමත් අනාවරණය වී නැත.
නොවැම්බර් 8 වැනිදා පස්වරුවේ හීලියෝස් ලීඩර් නෞකාව මගින් ශ්‍රී ලාංකික පුරවැසියන් 303 දෙනා බේරා ගනු ලැබූ අතර, ඔවුන් ගමන් කළ LADY R3 යාත්‍රාව පැය 40කට ආසන්න කාලයක් ගමනාගමනයට නොහැකිව නතර වී නිදහසේ පාවෙමින් තිබී ඇත.
නොවැම්බර් 8 වැනිදා පස්වරුවේ වියට්නාම වෙරළාරක්ෂක බළකායේ SAR 413 නෞකාව හීලියෝස් ලීඩර් නෞකාවේ සිට ශ්‍රී ලාංකිකයන් 303 දෙනා රැගෙන යෑමට පැමිණියේය. නෞකාවෙන් පුද්ගලයින් සිව් දෙනෙක් පමණක් බැස්සහ. නමුත් අනේක පුද්ගලයින් කරන ලද පැහැදිලිකිරීම් නොසලකා ජපන් නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාට මෙම පුද්ගලයින් පිරිස ජපන් නෞකාවෙන් ඉවත් කරගැනීම සඳහා පුරා පැයක් තිස්සේ මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බව වාර්තා විය.
ඉන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් 303 දෙනාම කණ්ඩායම් වශයෙන් හීලියෝස් ලීඩර් නෞකාවෙන් ගොඩට ගෙන එනු ලැබුවේය.
මානුෂීය හේතූන් මත, ස්වභාවික විපත් වැළැක්වීම සහ පාලනය කිරීම සහ සෙවීම් සහ මුදාගැනීම සඳහා වන Ba Ria – Vung Tau පළාත් අණදෙන නිලධාරින් විසින් ශ්‍රී ලාංකිකයන් 303 දෙනා ඉඩකඩ සහිත පහසුකම් ඇති ස්ථාන තුනක නවාතැන් ගැන්වීමට කටයුතු කළේය. පිරිස අතර පිරිමින් 264 ක්, කාන්තාවන් 19 ක් සහ ළමුන් 20 ක් වූහ. .







