පසුගිය පැය කිහිපය තුළ කළුතර සහ කොළඹ ජින්තුපිටිය ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
කළුතර, වාඩියමංකඩ අංක 01 දුම්රිය ස්ථානය අසල පිහිටි වෙළඳසැලක් තුළදී එහි හිමිකරු ඉලක්ක කර ගනිමින් මුල් වෙඩි තැබීම සිදුවිය. රාත්‍රී 08ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 35 හැවිරිදි වෙළඳසැල් හිමිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය තහවුරු කළේය. ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබුනේ මිලි මිටර 09 වර්ගයෛ් ගිනි අවියකිනි.
මේ අතර, කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුවූ තවත් වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රාත්‍රි 8.30ට පමණ ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය. වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධීන් දෙක පිළිබඳව අදාළ පොලිස් ස්ථාන මගින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
පාතාල කල්ලි අතර පවතින ආරවුල් මෙම වෙඩි තැබීම්වලට සම්බන්ධද යන්න පිළිබඳවද පොලිසියේ අවධානය යොමුව තිබේ.







