විරෝධතා කරුවන් පිරිසක් විසින් පසුගිය 13 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තු ප්‍රවේශය අසල ඇතිවූ ගැටුමේ දී කඳුළු ගෑස් සිලින්ඩර 360ක් අත්පත් කරගෙන ඇති බවත් රාජගිරිය ඔබේසේකර පුර දී ලැබුනේ ඉන් සිලින්ඩර පනහක් පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
පසුගිය 13 වැනිදා කලහකාරීන් පිරිසක් පොල්දූව මංසන්ධිය අසල ඇතිකරගත් ගැටුම පාලනය කිරීමට ඔවුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටි පොලිසිය විසින් සථානයට රැගෙන පැමිණි කඳුළු ගෑස් තොගය නිමා වී තිබේ.
හැකි ඉක්මනින් යළි ගැටුම ඇතිවන ස්ථානයට කඳුළු ගෑස් නිකුත් කරන්නැයි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට කළ දැනුම් දීමකට අනුව කඳුළු ගෑස් සිලින්ඩර 360ක් සහිත පෙට්ටි පහක් රැගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල් වරු දෙදෙනෙක් ත්‍රීවිල් රථයක පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිට ඇත.
එහෙත් කඳුළු ගෑස් මදි වීමත් සමග ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සමනය කිරීමට බැටන් ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශවලට සිදුවී තිබිණි. එම බැටන් ප්‍රහාරය මැද පලා යන කලහකාරී පිරිස් වෙත දියත පාලමට නුදුරු ප්‍රදේශයක දී මෙම ත්‍රී රෝද රථය කොටු වී ඇත. මේ අවස්ථාවේ දී ත්‍රී රොද රථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනාට පහර දුන් කලහකාරීන් මෙම කඳුළු ගෑස් සිලින්ඩර සහිත පෙට්ටි පහ පහැරගෙන ඇත.
පහර කෑ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පොලිස් රෝහලෙත්, එක් නිලධාරියෙක් කළුබෝවිල රෝහලේත් තවමත් ප්‍රතිකාර ලබයි.
පසුගිය දා රාජගිරිය ඔබේසේකරපුර තාවකාලිකව පදිංචි වී සිටි මත්කුඩු වලට ඇබ්බැහි වූ ටයිල් වැඩ කරන්නෙක් ලඟ තිබී හමුවන්නේ මෙසේ සොරාගත් කඳුළු ගෑස් සිලින්ඩර 50කි.
තවත් කඳුළු ගෑස් සිලින්ඩර 310ක් අස්ථානගත වී තිබේ.
එමෙන්ම පසුගිය 13 දා දහවල් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අසල දී කඳුළු ගෑස් පෙට්ටි දෙකක තිබුනු සිලින්ඩර විරෝධතාකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි. ඒ සම්බන්ධව ද පරීක්ෂණ පැවැත්වේ.







