ලලිත් චාමින්ද –
-
හෘද සැත්කමක් සඳහා අද කරාපිටිය රෝහලේ ලියාපදිංචිවන හෘද රෝගියෙකුට සැත්කමට දිනය ලැබෙන්නේ 2028 අවුරුද්දේ… ලෙඩ්ඩුන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි!
-
මම පෙන්ෂන් යනකොට ලෙඩ්ඩු 4000ක් විතර විතර පෝලිමේ හිටියා… දැන් කීදෙනෙක් ජීවත් වෙලා ඉන්නවද දන්නේ නෑ… විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ කියයි!
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය තුළ හෘද සැත්කම් කළ යුතු හෘද රෝගින්ගේ පොලිම 2028 දක්වා දිගු වි ඇති බැව් එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හෘද සැත්කම් කරගැනිම සදහා මෙම ඒකකයේ අලුතෙන් ලියාපදිංචි වන හෘද රෝගියෙකුට 2028 වන තෙක් බලා සිටිමට සිදුවි ඇති බව හෘද රෝගිහු පවසති. හෘද සැත්කම් කරගැනිම සඳහා මෙම ඒකකයේ ලියාපදිංචිවන රෝගියකුට මෙහි සේවය කරන හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් ලබා දෙන්නේ 2028 දිනයක් බව හෘද රෝගිහු පෙන්වා දෙති.
කොන්ත්‍රාත් පදනම මත මෙම ඒකකයේ සේවය කරණ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ සමග මෙහි හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු තිදෙනෙකු සේවය කරති. නාමල් ගමගේ වෛද්‍යතුමන් සතියකට හෘද සැත්කම් හතරක් පමණ සිදුකරන ලබන අතර ඉකුත් වසරේ දි (2023) නාමල් ගමගේ මහතාගේ හෘද සැත්කම් කළ යුතු හෘද රෝගින්ගේ ලැයිස්තුව 1500ක් පමණ වි තිබුණි.
එහෙත් ඉකුත් වර්ෂයේ නාමල් ගමගේ වෛද්‍යතුමන් විසින් සිදුකොට ඇත්තේ හෘද සැත්කම් 400කට ආසන්න සංඛ්‍යාවකි. හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ පවසන්නේ ඔහු විශ්‍රාම යනවිට සැත්කම් කළ යුතු හෘද රෝගින් 4000කගේ පමණ ලැයිස්තුවක් තිබු බවය. එම රෝගින් ජිවත්ව සිටිනවා ද යන්න සොයා බැලිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ පිළිබද හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍රගෙන් අප කළ විමසුමකදි ඇය මෙසේ කිවාය.
“හෘද සැත්කම් කරගැනිම සදහා 2028 වන තෙක් බලා සිටිමට හෘද රෝගියෙකුට කීම ප්‍රායෝගික නැහැ. මේ නිසා අලුතෙන් ලියාපදිංචි වන රෝගින් සඳහා අමතර ලැයිස්තුවක් අපි දාල තියෙනවා. දිනකට හෘද සැත්කම් 02ක් විතර මා විසින් කරනවා. එක් හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට කණිෂ්ඨ වෛද්‍යවරු 08 දෙනෙකු සිටිය යුතුයි. කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ හිඟය මේ සදහා ප්‍රධාන වශයෙන් බලපානවා.
අනික් කාරණය තමයි වෛද්‍යවරු අවුරුදු හතරෙන් හතරට මාරුකිරිම. මේ අය පුහුණු කරන්න වසර 02ක් විතර යනවා. හෘද සැත්කම් කිරීමට හැකි උච්චතම අවස්ථාව වනවිට ඒ අය මාරුවෙනවා. පුහුණු වෛද්‍යවරු ඉන්නවානම් වැඩි ප්‍රමාණයක් හෘද සැත්කම් කරන්න පුළුවන්.
“ඒ විතරක් නොවයි. හෘද සැත්කම්වල ගුණාත්මක භාවයත් ඉතා වැදගත් එමෙන්ම කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ ද ගුණාත්මක භාවය වැදගත්. මාගේ ලැයිස්තුවේ හෘද සැත්කම් කළ යුතු රෝගින් 200ක් 300ක් විතර ඉන්නවා.” යැයිද ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමිය සදහන් කළාය.
මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම් රංගගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
“ඔය කියන තරම් හෘද සැත්කම් කළ යුතු හෘද රෝගින් නැහැ. නමුත් සැත්කම් කළයුතු හෘද රෝගින්ගේ යම් තදබදයක් තියෙනවා. හෘද හා උරස් කුහර සිමිත සැත්කම් ප්‍රමාණයක් තමයි කරන්න පුළුවන්. මෙක අමාරු සැත්කමක්.” යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.







