බීබීසී –
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව තහවුරු විය’ ඒ, ඔහු ජනාධිපතිවරණයෙන් ආසන 270ක අවම සීමාව පසු කිරීමත් සමග ය. ඒ අනුව, ඔහු ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.
ජයග්‍රහණය කළ බවට කළ ප්‍රකාශය
ඇමෙරිකාව තමන්ට ‘අතිවිශිෂ්ට ජයග්‍රහණයක්’ අත් කර දී ඇති බව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. ෆ්ලොරිඩාවේ සිය ආධාරකරුවන් හමුවේ ඔහු පැවසුවේ, තමන් ඇමෙරිකාව යළිත් සුවපත් කිරීමට සහය වන බව ය. එහිදී ඔහු අවධාරණය කළේ, ඇමෙරිකානු දේශසීමා යළි තහවුරු කරන බව ය.
මෙය ඇමෙරිකාවේ “රන් යුගයක්” ලෙස ඔහු හැඳින්වීය. “මෙය ඇමරිකානු ජනතාවගේ විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර, එය ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට අපට ඉඩ සලසයි,” යනුවෙන් ඔහු සඳහන් කළේ ය. “ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී තිබෙනවා,” ඔහු පැවසීය. එහිදී සිය බිරිඳ මෙලානියාට ස්තූති කරමින් ට්‍රම්ප් ඇයව හැඳින්වූයේ, ජනාධිපති ආර්යාව ලෙස ය. පසුව, ට්‍රම්ප් ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට පත්වූ X හිමිකරු සහ ලොව ධනවත් ම පුද්ගලයා වන එලොන් මස්ක් රිපබ්ලිකන් පක්ෂයේ “නව තරුවක්” ලෙස විස්තර කළේ ය.
‘ජීවිතය බේරුණේ හේතුවකට’
මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඔහු ඝාතනය කිරීමට තැත් කිරීම ගැන ට්‍රම්ප් කෙටියෙන් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ඔහුගේ ජීවිතය “හේතුවක් වෙනුවෙන් බේරුණු” බව ය. එය ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය පුරා කියන ලද්දකි. ට්‍රම්ප් පවසන්නේ, ඇමෙරිකාවේ ජනාධිපති ධූරය “ලෝකයේ වැදගත් ම රැකියාව” බව ය.







