කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ වයස අවුරුදු 12ක දියණිය එම පොලිස් නිලධාරිණියගේඅනියම් සැමියා විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි වාර්තා වේ.
මේ සිද්ධිය සම්බන්ධව පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශ හරහා පුළුල් විමර්ශනයක් ඊයේ (20) ආරම්භ කර තිබේ.
කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ධූරය දරන්නේ පොලිස් පරික්ෂකවරියකි. ඇයගේ සැමියා බන්ධනාගාර ජේලර්වරයෙකි. මත්කුඩු ජාවාරමක් සම්බන්ධ චෝදනාවක් මත ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. සැමියා බන්ධනාගාරගත වීමෙන් පසු ඇය ව්‍යාපාරිකයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබේ.
ඇය මෙම ව්‍යාපාරික අනියම් සැමියාත්, දරු දෙදෙනාත් සමග ජාඇල ශ්‍රමදාන මාවතේ පිහිටි නිවසක එකට ජීවත්වෙමින් සිට ඇත. ව්‍යාපාරික අනියම් සැමියා අතින් දැරිය අපයෝජනයට ලක් වී ඇත්තේ එම නිවස තුළදීය. මෙම පුද්ගලයා කලක සිට මේ 12 හැවිරිදි කුඩා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි විමර්ශන අංශ කියයි.
විමර්ශකයින් හෙලි කරගෙන ඇති ආකාරයට තමන්ට කළ අපරාධය සම්බන්ධව එම දියණිය පොලිස් පරීක්ෂක මවට දැන්වූ විට ඇය කර ඇත්තේ සිය සල්ලාල අනියම් සැමියාට එරෙහිව නීතිමය පියවර ගන්නවා වෙනුවට අපයෝජනයට ලක් වුන දැරියත්, ඇයගේ අනෙක් දරුවාත් දුම්මලසූරිය පදිංචි සිය මවගේ නිවසේ නතර කිරීමය.
මේ අතර පොලිස් නිලධාරිනියකගේ දියණියක් ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව දුම්මලසූරිය පොලිසියට පෙරේදා (19) දුරකථනයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ. එම ඇමතුම අනුව දුම්මලසූරිය පොලිසියේ කණ්ඩායමක් එම නිවසට ගොස් දැරිය මුණගැසී ඇත. පොලිසිය කළ කරුණු විමසීමේ දී දැරිය තමන්ට සිදුවූ අපරාධය මුල සිටම විස්තර කර තිබේ.
ඒ අනුව එම දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
මූලික විමර්ශනවල දී හෙළි වූ කරුණු අනුව මෙම අපරාධය කළ පොලිස් නිලධාරිණියගේ අනියම් සැමියාට මෙන්ම සිය දියණියට සිදුවූ ලිංගික අපරාධය සැඟවීමට තැත් කළ පොලිස් නිලධාරිණියට ද නීතිමය පියවර ගැනීමට සිදුවනු ඇති බව විමර්ශන අංශ සඳහන් කළේය.







