කොළඹ – දිලංගා ගෝමස් –
බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කලේ යැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න ලබන මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අද (29) දින නියෝග කළේය.
ඊයේ රාත්‍රී 1.20 ට පමණ බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පදවන ලද WP CBG 2057 දරණ කාර් රථය වැල්ලවත්ත මුහුදු මාවතේ මිරාජ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ වැගන්ආර් කාර් රථයක සහා නවතා තිබූ බස් රථයක ගට්ටනය කර අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණිත
එහි දී සිදු කරන ලද බීමත් ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධික ලෙස බීමත්ව සිටි ඇති බවට තහවුරු වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
අනතුරුව ඔහු ගල්කිස්ස උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.
නැවත මෙම නඩුව නොවැම්බර් මස පළමුවැනි දින කැදවීමට නියමිතය.







