සූරියවැව නුවන් ජයසේකර –
රුහුණු කතරගම මහා දේවාලයට අයත් වාසනා හස්තිරාජයාගේ දකුණු දළයෙන් කොටසක් කැඩී ගොස් තිබේ.
ඒ සම්බන්ධයෙන් හස්ති රාජයා භාරව කටයුතු කරන ප්‍රධාන ඇත් ගොව්වා වන අජිත් අශෝක ලියනගේ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුවත් කර ඇත.
මද සමය එළඹීම හේතුවෙන් මේ වන විට වාසනා හස්තිරාජියා වෙනම ස්ථානයක රඳවා තබා කෑම බීම හා ඖෂධ ලබා දීම සිදුකරනු ලැබේ. වාසනා හස්තිරාජයා ගාල්කර ඇති ස්ථානයේ තිබී පසුගිය විසි දෙවන දින අලුයම හස්තියාගේ දකුණු දලයේ කැඩී ගිය කොටස සොයාගෙන ඇත.
එම කැඩී ගිය කොටසේ දිග ප්‍රමාණය අඟල් දාහතර හමාරකි. මේ වන විට කතරගම දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය වෙත භාරදී තිබේ
.අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලෑ බද ප්‍රදේශයක අතරමංව සිට සොයා ගත් වාසනා හස්ථියා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 වසරේ එවකට අමාත්‍යවරියකු වූ විමලා කන්නංගර විසින් රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබේ.
එතැන් පටන් මේ දක්වාම කතරගම දේවාලය භාරයේ මෙම ඇතා පසුවෙයි.







