දිනසේන රතුගමගේ –
යාපනය ඇතුලු උතුරු පළාතේ සැරිසරන කඩු කිණිසි රැගත් කල්ලි ආරක්ෂක අංශවලට පාලනය කළ නොහැකි වී ඇත්තේ ඔවුන්ට රැකවරණය සපයමින් සහාය ලබා ගන්නා උතුරේ දෙමළ දේශපාලනඥයින් නිසායැයි වාර්තාවන බවත්, වහාම එම ක්‍රියාව නතර කොට රටේ නීතියට හා සාමයට ගැලපෙන අන්දමට කටයුතු කරන ලෙස තමා දැනුම් දෙන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ඊයේ ( 31 ) පැවසුවේය.
යාපනයේ මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සිය අදහස් ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ රටේ නීතියට අනුව යාපනයට එක් නීතියකුත් දිවයිනේ සෙසු පළාත් වලට තවත් නීතියකුත් ක්‍රියාත්ම වීමට තමන් ඉඩ නොතබන බවයි.
”කඩු කිනිසි ඇතුළු ආයුධ රැගෙන විත් අහිංසක මිනිසුන්ව කපා ඔවුන්ට තුවාල සිදු කරන සංස්කෘතියක් වසර කීපයක සිට උතුරු පළාත තුළ ක්‍රියාත්මක වනවා. මේ තත්ත්වය පොලීසියට හා සෙසු ආරක්ෂක අංශවලට පාලනය කිරීමට නොහැකි බවක් පෙනෙන්නට ඇති නිසා මා එම ප්‍රධානීන් සමග මේ ගැන සාකච්ඡා කළා.“
“දැනට යාපනයේ ක්‍රියාත්මක මේ කල්ලි වලට පළාතේ දේශපාලනඥයින්ගෙන් අත් උදව් ලැබෙන බවට තොරතුරු ලැබෙනවා. මේ නිසා මම ඔවුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ වහාම එම උදව් කිරීම නතර කොට උතුරු පළාත තුළ නීතිය හා සාමය ආරක්ෂා කරගෙන යාමට සහය ලබා දෙන ලෙසයි.“
සමහරු ප්‍රකාශ කරන්නේ පුනරුත්ථාපනය වී පැමිණි පිරිසක් මේ කටයුතු වල නියැලී සිටින බවයි .නමුත් ඔවුන්ද මේ රටේ පුරවැසියන් නම් ඔවුන්ට එසේ හැසිරීමට කවරෙකුවත් අවසර ලබා දි නැති බව ඒ අයද මතක තබා ගත යුතුයි.
උතුරු පළාතේ විශේෂයෙන්ම යාපනයේ ක්‍රියාත්මක වන මේ කඩු ආයුධ රැගත් කල්ලිවල ක්‍රියා කලාපයන් වහාම ඉවත් කිරීමට මම ගත හැකි සෑම පියවරක්ම ගන්නවා..”







