-
මම හැම තීරණයක්ම ගත්තේ මම ගැන හිතලා නෙමෙයි… ජනතාව ගැන හිතලා… මේ තීරණයත් ගත්තෙ ජනතාව ග ගැන හිතලා… මහ ගෙදරට ඇවිත් ජනාධිපතිවරයාට රට ගොඩගන්න කොන්දේසි නැතිව උදව් කරනවා… රාජිත කියයි.
-
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර ද ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්නට එකතු වෙයි. රට ගොඩ දැමිය හැක්කේ ජනපතිට විතරක් බව පවසයි…
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමටෙකොන්දේසි විරහිතව සහාය ලබා දෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවසීය.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමාමාලකයේදී අද (13) නිල ප්‍රකාශයකට අත්සන් තබමින් රාජිත සේනාරත්න ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක් විය.

පසුගිය වසර කිහිපය තුළ මේ රටේ පැවති දුර්භික්ෂය තුරන් කර ජනතාවට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත්, එතුමාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ අද ජාත්‍යන්තරයේද පැසසුමට ලක්ව තිබෙන බවත් රාජිත සේනාරත්න පෙන්වා දුන්නේය.
වාමාංශික කඳවුර නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි තමන් මීට පෙර දේශපාලන වශයෙන් වැදගත් තීන්දු තීරණ ගත් බව පැවසු රාජිත සේනාරත්න එම සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ මේ රටේ ජනතාව වෙනුවෙන් බවත්, එම තීන්දු තීරණ හමුවේ ඇතැම් අවස්ථාවල පොලිස් පහරදීම්වලට ද ලක්වූ බවත් සිහිපත් කළේය.
අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත දේශයක් ගොඩනගා දීමට අඛණ්ඩව කැපවන බවද පැවසූ රාජිත සේනාරත්න යළිත් තම මහ ගෙදරට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ රටේ ජනතාවගේ අපේක්ෂා ඉටු කරමින් රට ඉදිරියට ගෙන යාමට නම් නව ආර්ථික ක්‍රමයක් ඇති කිරීම මෙන්ම නව දේශපාලන රාමුවක් ද ඇති කළ යුතු බවයි.
එබැවින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට තීරණය කළ බව පැවසූ ජනාධිපතිවරයා රාජිත සේනාරත්න ද තමන් මෙන්ම සමාජය වෙනස් කළ යුතුය යන රැඩිකල් අදහස් තිබෙන මන්ත්‍රීවරයෙක් බැවින් තමන් සමඟ එක්වීම පිළිබඳ සතුටු වන බවද කියා සිටියේය.
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර, රවි කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර ද අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක් විය.
මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළ තුළින් පමණක් බව ද පෙන්වා දුන් ජගත් ප්‍රියංකර රට වෙනුවෙන් එම වැඩපිළිවෙළට සිය පුර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළේය.







