එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
කිසිදු පුරවැසියෙක්, නගරයක්, ගමක්, දුප්පත්, පොහොසත්, සිංහල, දෙමළ යන භේදයකින් තොරව පැතිර යන මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බව සහතික කළ ජනාධිපතිවරයා එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවට අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.
මම විවිධ අවස්ථාවල මෙම යාපනය දිස්ත්‍රික්කයට පැමිණ මෙහි ජනතාව මුණ ගැසි තිබෙනවා . ඒ සෑම අවස්ථාවකටම වඩා සුවිශේෂී අවස්ථාවකටයි අද මම සම්බන්ධ වෙන්නේ. ඒ අන් කවරක්වත් නොවේ, අපේ තරුණ පරපුර, අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගිල ගනිමින් තිබෙන මත්ද්‍රව්‍ය උවදුර පරාජයට පත් කිරීමේ අරමුණින් තමයි අද අපි මෙම අවස්ථාවට එක් වන්නේ.
අපිට රටක් ලෙස විශාල බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. අපේ රට ලෝකයේ දියුණු රටක් බවට පරිවර්තනය කළ යුතුයි. අපේ රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. අපේ රට තුළ සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනැඟිය යුතුයි. එය හොඳ රටක් ගොඩනැඟීම සහ දරුවන්ට හොඳ අනාගතයක් උදා කර දීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණු වෙනවා.
එහෙත් අද මෙම සියලු අපේක්ෂා සහ බලපොරොත්තු යථාර්ථයක් වීම එක් අභියෝගයක් හමුවේ අනතුරකට පත්ව තිබෙනවා. ඒ අනතුර තමයි මේ විෂ මත්ද්‍රව්‍ය අනතුර. කිසිදු තැනක්, කිසිදු පුරවැසියෙක්, කිසිදු නගරයක්, ගමක් බේදයකින් තොරව මේ ව්‍යසනය පැතිර යමින් තිබෙනවා. මෙය පරාජයට පත් කළ යුතුයි. ඔබ දන්නවා අපේ රටේ අම්මලා, තාත්තලා තමන්ගේ දරුවන් පිළිබඳ විශාල අපේක්ෂාවකින් යුතුව හදා වඩා ගන්නවා. එම සියලු බලාපොරොත්තු මේ විෂ මත්ද්‍රව්‍ය උවදුර හමුවේ අඩපණ වී තිබෙනවා. දුප්පත්, පොහොසත්, දෙමළ, සිංහල බේදයකින් තොරව මේ ව්‍යසනය පැතිර යමින් තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමුන් රට ගිලගෙන සිටින හැටි
මේ මත්ද්‍රව්‍ය මගින් උපයා ගන්නා විශාල ධනයේ බලය විසින් අපේ රාජ්‍ය යාන්ත්රණයට අත පොවා තිබෙනවා. බන්ධනාගාර තුළ අත්අඩංගුවේ සිටියදී මෙම ව්‍යාපාරය කරමින් සිටිනවා. ඉතා කාර්යක්ෂම සේවාවක් අපේ පොලිසිය ඉටු කරන ගමන් එහි කිහිප දෙනෙක් මෙම ව්‍යාපාරයේ ගොදුරු බවට පත්ව තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව මේවායේ වැඩ කරන දුර්වල නිලධාරීන් මෙහි ගොදුරු බවට පත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය සේවයේ වැදගත් තැන්වල මේ උවදුරට ගොදුරු වූ රාජ්‍ය නිලධාරීන්ව අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දරුවන් මෙහි ගොදුරු බවට පත්ව තිබෙනවා නම් රාජ්‍ය සේවය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව තිබෙනවා නම් අපි රටක් ලෙස ගමන් කරමින් සිටින්නේ කොතැනටද කියා සිතා බැලිය යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන් මේ ව්‍යාපාරය පරාජයට පත් කළ යුතුයි.
එදා දේශපාලන රැකවරණය මේ ජාවාරම්කරුවන්ට ලැබුණා. ඇතැම් පළාත්වල දේශපාලඥයින් මේ කුඩු ලේබල්වලින් හඳුන්වන්න පටන් ගත්තා. අපි ඔබට එක සහතිකයක් ලබා දෙන්නම්. නැවත අපේ රටේ කුඩු ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවරණය නොලැබෙන ආණ්ඩුවක් මේ රටේ ජනතාව ගොඩනගා තිබෙනවා. අද මේ අත්අඩංගුවට ගැනීම් සඳහා තිබෙන යාන්ත්‍රණය පිරිසිදු වී තිබෙනවා. හැබැයි තවමත් තැනින් තැන අපිට සමහර දේ වාර්තා වෙනවා.
මා එම සියලු නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර ගනුදෙනුව නවත්වන්න. ඔබට තෝරා ගැනීමට මාවත් දෙකයි තිබෙන්නේ, ගනුදෙණුව අතහරින්න, නැත්නම් රාජකාරියෙන් ඉවත් වෙන්න. කුඩු ව්‍යාපාරිකයන්, පාතාලය සමඟ ගනුදෙනු කරමින් රාජකාරි කරන්න කිසිසේත් ඉඩක් නොමැති බව සහතික කරනවා.
ඒ නිසා කිසිදු පැකිලීමකින් තොරව මේ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ පිරිසිදු කිරීමේ අභියෝගයට අපි මුහුණ දෙනවා. ඒ වගේම අපේ රටේ පොදු ජනතාව මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතුයි. ඔබගේ දරුවා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් නොවිය යුතුයි. ඒ නිසා රජයක් ලෙස අපගේ වගකීම වන්නේ මේ ව්‍යසනය පරාජය කිරීමයි. එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවට මා ඔබට සහතික වෙනවා.

බිය නොවී මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට එරෙහි වෙමු
මේ උතුරේ තරුණයන් කාලයක් යුද්ධයකට යට වී විනාශ වුණා. දෙමාපියන් තම දරුවන් ගැන බියෙන්, සැකෙන් ජීවත් වුණා. යුද්ධය අවසන් වී කෙටි කාලයකදී නැවත මෙම පළාත් පියවරෙන් පියවර මේ මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වෙමින් තිබෙනවා. මේ දරුවන් බේරාදෙන ලෙස දෙමාපියන් අපෙන් ඉල්ලනවා. ඒ නිසා දේශපාලන අධිකාරිය ලෙස මෙය පරාජය කළ යුතු බවට අපි තිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරනවා.
ඒ වගේම මේ සඳහා ජනතාවගේ සහාය අවශ්‍යයි. අපරාධකරුවන්ට අපි බිය විය යුතු නැහැ. බිය විය යුත්තේ ඔවුන්. ඒ නිසා ඔබ පෙරට එන්න. ග්‍රාම සේවා නිලධාරීන්, පොලීසිය මේ වෙනුවෙන් පත් කර ඇති නිලධාරින් ඉන්නවා. අපි සියලුදෙනා රට පුරා මහා ආරක්ෂක වළල්ලක් වගේ කටයුතු කරමින් එකට එක්ව මේ ව්‍යසනය පරාජය කරනවා යන තිර අධිෂ්ඨානයෙන් කටයුතු කළහොත් මෙය පරාජයට පත් කළ හැකියි. ඒ වෙනුවෙන් ඔබ සුදානම් වෙන්න.
මෙයට ගොදුරු වී සිටින්නේ අපේම දරුවන්. අපි අසමත් වී තිබෙනවා ඔවුන් එයින් බේරා ගැනීමට. මෙහි වග උත්තරකරුවන් වන්නේ මීට ගොදුරු වූ තරුණයින් පමණක් නොවෙයි, ඔවුන් බේරා ගැනීමට අසමත් වූ අපිත් මෙහි වගඋත්තරකරුවන්. වගකීම් පැහැර හැරීම නිසා තමයි දරුවන් මීට ගොදුරු වී තිබෙන්නේ.
ඒ නිසා අපි වැටලීම් සිදු කර දරුවන් විතරක් අත්අඩංගුවට ගැනීමෙන් ඵලක් නැහැ. මෙහි උඩම සිටින පිරිස් අත්අඩංගුවට ගත යුතුයි. මෙම ජාලය අඩපණ කළ යුතුයි.
ඒ වගේම මේ වැඩසටහන මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනක් පමණක් නොවෙයි. ඊට ගොදුරු වූ දරුවන්ට අපි හොඳ අනාගතයක් නිර්මාණය කර දිය යුතුයි. ඒ නිසා අපි රට පුරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගණනාවක් ඇති කරනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔබගේ දරුවා ඊට භාර දෙන්න. නැවත අපි ඔබට ඔබ අපේක්ෂා කළ දරුවා ලබා දෙන්නම්. ඔහුට වෘත්තීය රැකියාවක් පුහුණු කර ගමට, රට වැඩදායී පුරවැසියෙක් බවට පත් කරන්නම්.
දේශපාලන අධිකාරිය ලෙස අපි මීට සම්පුර්ණ නායකත්වය ලබා දෙනවා. කිසිදු බිය ගැන්වීමකට හෝ තර්ජනයකට යටත් නොවී මේ සන්නද්ධ අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් රටින් මුලිනුපුටා දමන බවට මම ඔබට සහතික වෙනවා.
තැන තැන කැරකෙන ජාතිවාදයේ සුළි
සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා සහෝදරත්වයෙන් ජිවත්වන හොඳ රටක් අපිට අවශ්‍යයි. දශක ගණනාවක් අපි වෛරයෙන්, ක්‍රෝධයෙන් ජීවත් වුණා. අපිට කිසිවක් ලැබුණේ නැහැ. යුද්ධය නිසා උතුරේත්, දකුණේත් දෙමාපියන්ගේ දරුවන් අහිමි වුණා. එහි අවසාන ශේෂ පත්‍රය මහා ව්‍යසනයක්. ඒ නිසා යළි ගැටුම් අති නොවන සහෝදරත්වයෙන් සහ ළෙංගතුකමින් ජීවත්වන ජාතියක් අපි ගොඩනැගිය යුතුයි. ඒ නිසා කිසිදු තැනක, කිසිදු ආකාරයක ජාතිවාදයට යළි නැගිටීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
මම දන්නවා තැනින් තැන සුළි කැරකෙනවා. පෝයට සිල් ගන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට එනවා. එතන තිබෙන්නේ සීලය නොවෙයි, වෛරය. ඒ වගේම සෑම පෝයකටම ගිහින් ඒ පන්සල ළග වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නොවෙයි, ජාතිවාදය වෙනුවෙන්. මම අපේ බුද්ධි අංශවලට උපදෙස් දුන්නා හොයලා බලන්න කියලා, ඒ හැම පෝයකටම ඇවිල්ලා එතන කෑ ගහන කාගේ හරි ඉඩමක් එතන තියෙනවද කියලා. ඒ නිසා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා කුඩා තැන්වල යළි ජාතිවාදය ඔසවන්න උත්සාහ කරනවා. ඒ කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි අපේ රටේ හිස එසවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
අපිට අවශ්‍ය ජනතාව ගහගන්න රටක් නොවෙයි. අපිට අවශ්‍ය සහෝදරත්වයෙන් ජීවත්වන රටක්. අපිට අවශ්‍ය අනෙකා කෙරෙහි සැකයෙන් බලන තරුණයන් නොවෙයි. අනෙකා කෙරෙහි ආදරයෙන්, විශ්වාසයෙන් බලන තරුණයින් අපිට අවශ්‍යයි. අපි ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් තිබෙනවා. පළමුව හොඳ ආර්ථික ශක්තියක් ඇති කළ යුතුයි. ක්‍රීඩාවට සමාන අවස්ථා නිර්මාණය කර දිය යුතුයි. සාහිත්‍යයට, කලාවට, චිත්‍රපටියට මේ යාපනයේ අලුත් තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. අනෙකා කෙරෙහි වෛරයෙන් බලන මනස ඉවත් කළ යුතුයි. තෙතමනය ඇති සහ අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ඇති කළ යුතුයි.
ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් බිඳ වැටීමට ඉඩ නොතබන බවට මා ඔබට සහතික වෙනවා. ඔබ පළමු වතාවට ආණ්ඩුවක් කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මීට පෙර උතුරේ තිබුණු මතය වූණේ දකුණේ සිංහල ආණ්ඩුවක් තිබෙනවා, උතුරේ අපිට දෙමළ ආණ්ඩුවක් ඕනේ කියලා කිව්වා. දකුණේ තිබුණ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා උතුරේ ජනතාවට දැණුනේ නැහැ.
හැබැයි මම ඔබට එකක් කියන්නම් දකුණේ තිබුණ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා දකුණේ ජනතාවට දැණුනෙත් නැහැ. උතුරට විතරක් නෙවෙයි, දකුණටත් ඒවා ආණ්ඩු නෙවෙයි. ඉතා සීමිත පවුල් කිහිපයක් වෙනුවෙන් හදපු ආණ්ඩු. තමන්ගේ මිතුරන් වෙනුවෙන් හදපු ආණ්ඩු. ඥාතීන් වෙනුවෙන් හදපු ආණ්ඩු. අද ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. අද උතුරේ ඔබ මෙන්ම දකුණේ ජනතාවත් තමන්ගේ ආණ්ඩුවක් ලෙස අපිව විශ්වාස කරනවා. ඒ නිසා අද උතුරේ, දකුණේ, නැගෙනහිර සිංහල මුස්ලිම් දෙමළ සියලු දෙනාගේ ගෞරවයට ලක් වු ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. එය වැදගත් හැරවුමක්. සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අපිට ඉදිරියට යන්න බැහැ. අපි අතර විශ්වාසය තිබිය යුතුයි. ඒ නිසා අපි සියලුදෙනා එක්ව හොඳ රටක් ගොඩනඟමු කියා මම ඔබට ආරාධනා කරනවා.
වැටලීම් වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දුන් උතුරු පළාතේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් තිළිණ ප්රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ධිවර ජලය හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ද මේ අවස්ථාවේ ජනතාව ඇමතුවේය.
උතුරු පළාතේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, කේ. ඉලංකුමරන්, ෂන්මුගනාදන් භවනන්දරාජා ඇතුළු මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යාපනයේ ආඥාපති මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර, උතුරු පළාත් නාවික හමුදා ආඥාපති රියර්අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ







