ඊයේ භූමිතෙල් පෝලිමක දී මැරී වැටුණු 71 ජ්‍යෙෂ්ඨ පුරවැසියා අධි රුධිර පීඩනය හෝ වෙනත් බෝ නොවන රෝග වලින් නොපෙළුණු බව වෛද්‍ය වාර්තාවලින් සනාථ වන අතර ඔහු මිය ගොස් ඇත්තේ මහා ධමනිය පුපුරා යෑම නිසා බවත්, වැඩි ආතතියක් බොහෝ වේලාවක් දරාගැනීමට සිදුවීමෙන් මෙවැනි අනතුරු සිදුවිය හැකි බවත් මහනුවර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සිව සුබ්‍රමණියම් පවසයි.
-
මේ මරණයට ආණඩුව වගකිව යුතුයි… දවස් ගණනක් ගෑස්වත් ලාම්පුතෙල්වත් නෑ… උයාගන්න ලාම්පුතෙල් ටිකක් හොයාගන්නයි මල්ලි උදේ එළියට බැස්සේ – මිය ගිය අයගේ වැඩිමල් සොයුරා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කියයි…
-
පෝලිමේ සිට ඇද වැටුණු පසු විනාඩි 40ක් කිසිවෙක් උදව් කරන්න ඉදිරිපත් වී නෑ… අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා… රෝහලට ඇතුළත් කරනවිටත් පුද්ගලයා මිය ගිහින්…
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) මහනුවර යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම් හළක භූමිතෙල් පෝලිමක සිටියදී ඇද වැටී මිය ගිය හැත්තෑ එක් හැවිරිදි හනීෆා මොහොමඩ් ඉල්ලියාස් නැමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ මරණය සම්බන්ධව අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) මහනුවර රෝහලේ දී සිදු කෙරිනි. කටුගස්තොට උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහු ඊයේ (19) පස්වරුවේ භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හලක පැය හතරක පමණ කාලයක් සිටගෙන සිටියදී හදිසියේම සිහිසුන්ව බිම ඇද වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ වයසට යනවිට රුධිර මාර්ග අවහිර වීම සිදුවිය හැකි වුවත් වෛද්‍ය වාර්තාවලින් මේ පුද්ගලයාට අධි රුධිර පීඩන තත්වයක් තිබුණු බව සනාථ නොවන බවය.
මහා ධමනිය පුපුරලා
ඔහුට කොවිඩ් තත්වයක් නොතිබුණු බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත. මහා ධමනිය පුපුරා යෑමෙන් සිදුවූ මෙම මරණයට හේතු විය හැකි ආසන්නම කාරණය විය හැක්කේ දැඩි ආතතිය සමග පැය ගණනක් සිටීම බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වයස අවුරුදු 60 ඉක්ම වූ කිසිම පුද්ගලයෙක් පැයකට වඩා වැඩි කාලයක් ආතතියකින් පසුවීම සුදුසු නැති බවය.
මහා ධමනිය පුපුරා යෑමෙන් පසු ඇද වැටුණු මේ තැනැත්තා විනාඩි 40කට ආසන්න කාලයක් රෝහල් ගත නොකර එම ස්ථානයේම තබා ගැනීම නිසා අභ්‍යන්තර අවයවවලට රුධිර වහනය සිදුවීම හේතුවෙන් රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් මිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයා වන මොහොමඩ් නිසාම් ප්‍රකාශ කර තිබුණේ කිසිම රෝගී තත්ත්වයකින් නොපෙළුණ සිය සොයුරාගේ මේ මරණය රජයේ වරදින් සිදුවූවක් බවය.
ඔහු සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
“මගේ මල්ලිට කිසිම ලෙඩක් තිබුණෙ නැහැ. මල්ලි මැරුණේ මේ රජයේ වරදින් කියල මම බය නැතුව කියනවා. මොකද අපේ පැත්තෙ භූමිතෙල් වත් ගෑස් වත් හොයා ගන්න තැනක් නැහැ. මල්ලි උදේම ලෑස්ති උනා අද නම් කොහෙන් හරි භූමිතෙල් හොයාගෙන එනවා කියලා. අන්තිමට අපිට ලැබුණේ භූමි තෙල් නෙවෙයි මල්ලිගෙ මළකඳ විතරයි.“
“මල්ලි කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙච්ච හොඳ මනුස්සයෙක්. එයා පහුගිය දවස් ටිකේම දුක් වුණා නෝනා කෑම උයන්ඩ ගන්න මහන්සිය නිසා…“
අවුරුදු 30ක රාජ්‍ය සේවකයෙක්…
මියගිය මොහොමඩ් ඉල්ලියාස් රජයේ සේවයට එක්ව වසර 30 ක පමණ කාලයක් සේවය කළ අයෙකි. ඔහු ශ්‍රී ලංකා පොලීසියේ සිවිල් සේවකයෙකු ලෙස රාජකාරි කළ බව ඔහුගේ සහෝදර මොහොමඩ් නිසාම් පවසයි.
උඩතලවින්න ප්‍රදේශය හා ඒ අවට ගෑස් හෝ ලාම්පුතෙල් නොමැති වීම නිසා ලිප ගිනි මොළවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව කී ඔහු මහනුවර ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව සිය සොයුරා පෙරවරු 11.30 ට පමණ භූමිතෙල් ලබා ගැනීම සඳහා නිවසින් පිටව ගිය බවය.
භූමිතෙල් පෝලීමේ සිටියදී ඇදවැටී තිබෙන සහෝදරයාව රෝහල් ගත කිරීමට සෑහෙන වෙලාවක් ගතව තිබෙන බවත් මහනුවර ජාතික රෝහලින් ලැබුණු පණිවිඩයකට අනුව ගොස් බැලීමේදී ඔහු මියගොස් සිටි බවත් ඔහු කීවේය







