එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකි නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිවරයාගේ නව ධූර කාලය ආරම්භ වීමත් සමඟම මෙරට සංචාරයකට එක්වීමට ලැබීම පිළිබඳ සතුට පළ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ සුබපැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වූ බවත්ය.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ මෙන්ම ආයෝජනය, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා සහායවීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳව ද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවටද ඒ වෙනුවෙන් ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පවතින බවට ද විදේශ කටයුතු ඇමතිවරයා අවධාරණය කර ඇත.
මෑත කාලීනව ශ්‍රී ලංකාවට මුහුණ දිමට සිදුවූ ආර්ථික අර්බුදයේ දී ඉන්දියාව ලබා දුන් මූල්‍ය සහායට සිය කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමඟ අඛණ්ඩ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම තම අරමුණ බවද ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු කෙරිණි.
එසේම නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට ද නුදුරු පහසු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.







