දිනසේන රතුගමගේ –
නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකුගෙන් විසි හතර දෙනෙකුට යාපනය ඌර්කාවතුරේ මහේස්ත්රාත් ජේ.ගජනිතිබාලන් විසින් වසර එකහමාරක සිරදඬුවමක් වසර පහක කාලයකට අත් හිටවූ හිර දඩුවමක් ලෙස නියම කළ අතර ඉතිරි ධීවරයාට මස 6 ක සිර දඩුවමක් නියම කළේය.
මාස හයක සිර දඬුවමක් නියම කරණ ලද්දේ ව්යාපාරික බලපත්රයක් නොමැතිව බෝට්ටුවක් පැද වූ ඉන්දීය ධීවරයෙකුට එරෙහිවය.
අනෙක් ධීවර බෝට්ටුව පැද වූ තැනැත්තාට සියලු සහතික තිබූ නමුත් රටේ පවත්නා ධීවර නීතියට අනුව ඉන්දීය ධීවරයින් පැමිණි බෝට්ටු දෙකම රාජසන්තක කළේය.
මෙම ධීවරයින් 25 දෙනා හා ඔවුන් පැමිණි බෝට්ටු දෙකක් නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේදී අත් අඩංගුවට ගෙන තිබුණේ 2024 මාර්තු මස 21 වෙනිදාය.
රාජසන්තක කළ බෝට්ටු දෙක නාවික හමුදා බාරයේ රඳවා ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා නිදහස් කළ ඉන්දීය ධීවරයින් 24 දෙනා ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙස නාවික හමුදාවට හා යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැනුම් දෙන ලදී.







