ලබන 16 වන දා ඉන්දීය ආධාර යටතේ ලැබෙන අවසන් තෙල් නැව පැමිණෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේය.
ඊයේ (10) විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව කීවේය.
ඉදිරි මාස තුන සඳහාඅවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට මුදල් සොයා ගැනීම අතිශය දුෂ්කර බවත්, අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට මුදල් අච්චු ගැසීමට සිදුවනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්ධන සඳහා මහ බැංකුවේ අධිපතිතුමා ඩොලර් ප්‍රමාණයක් වෙන්කර තිබුණත් ඩොලර් මිලදීගැනීමට රුපියල් හිඟ වී ඇතැයි ඇමතිවරයා කීවේය.
දැන් ඉතිරි වී ඇති එකම විකල්ප මුදල් මුද්‍රණය කිරීම බව කී අමාත්‍යවරයා අධිපතිතුමා සහ ලේකම්තුමා මුදල් මුද්‍රණය කියන විකල්පයට අකමැති බව ද සඳහන් කළේය.
ඉදිරියේ දි රටට ළගාවීමට නියමිත ඉන්ධන නෞකා හතරකට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 160 ක් පමණ සෙවීම මේ දිනවල ඇති අභියෝගය බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන සඳහා වන ඩොලර් මිලියන 530 ක අවශ්‍යතාව රටේ මුදල්වලින් කළමනාකරණය කළ නොහැකි බවය.
ඩොලර් මිලියන 30 කට ණයවර ලිපියක් නිකුත්කිරීමට නොහැකිව දැවිතෙල් නෞකාවක් දින 20 ක කාලයක් නිදහස්කරගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
මේ තත්ත්ව තුළ ඉදිරියේ දී ඉන්ධන ලබාදීම පොදු ප්‍රවාහන සේවා, කර්මාන්ත සඳහා ප්‍රමුඛතාවයක් සහිත සලාක ක්‍රමයකට අනුව සිදුකීමට වන බව ඇමතිවරයා කියයි.







