දේශපාලන ව්‍යාපාරයක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් පිට රටකට ගොස් එම රටේ රාජ්‍ය නායකන් මුණ ගැසීමට තම දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරගැනීමට හේතුවක් නොවන බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක අද ( 10) කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ දී මාධ්‍ය අමතා පැවසුවේය.
රජය සහ ප්‍රධාන විපක්ෂය පාර්ශවයෙන් මේ සම්බන්ධව දිගින් දිගටම එල්ලවන කර්කෂ විවේචන සම්බන්ධව මාධ්‍ය විමසූ අවස්ථාවේ දී ඔහු යළි විමසා සිටියේ ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම තමන් ද ? යන්නය. ඔහු සිනා සෙමින් මෙසේ පැවසුවේය.
“ පව්”
තම ඉන්දීය සංචාරය සම්බන්ධව පූර්ණ විස්තරයක් හෙට පැවැත්වෙන ජනමාධ්‍ය සාකච්ඡාවක් හරහා ප්‍රකාශ කරන බව කී ජාතික ජන බලවේග නායකයා සිය මාධ්‍ය විමසූ කෙටි ප්‍රශ්න කීපයකට මෙසේ පිළිතුරු දුන්නේය.
“ඉන්දියානු රජයේ ආරාධනාව මත ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් ඉන්දියාවට ගියා. ඒක තමයි ප්‍රධානම දේ. අප එම සංචාරයේ දී ඉන්දීය විදේශ ලේකම්වරයාත්, විදේශ අමාත්‍යාංශ ලේකම්වරයාත් ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයාත්, ඒ වගේම ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයාත්, හමුවුනා. ඊට අමතරව තාක්ෂණික ක්ෂේත්රය පිළිබඳ අත්දැකීම් ලබා ගත්තා.
- හදිසියේම මේ වගේ ආරාධනාවක් ලැබුණෙ ඇයි?
හදිස්සියක් නොවෙයි. කොයි වෙලාවෙ කිව්වත් ඒක හදිස්සියක් වගේ වේවි. මේ පිළිබඳව හෙට අප මාධ්‍ය සාකච්ඡාවක් තියලා සම්පූර්ණයෙන් අපේ පැත්තෙන් කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා.
- රටේ වත්මන් තත්ත්වය ගැන ඉන්දියාවේ අදහස කුමක් ද?
රට ආර්ථික වශයෙන් කඩා වැටී ඇති බවත් දේශපාලනිකව මහා අර්බුදයක් තියන බවත් ලෝකයට රහසක් නෙමෙයි. ඒ වගේම ඔවුන්ට රහසකුත් නෙමෙයි.
ඒ වගේම ජනාධිපතිවරයා විසින් ඡන්ද කල් දාලා තියන වගත් ලෝකයට රහසක් නෙමෙයි. ඒ නිසා එළඹෙන ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ඔක්තොම්බර් මාසයේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය අපේ රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත්වන බවත් කවුරුත් විශ්වාස කරනවා.
- ඉන්දියාව සම්බන්ධ ඔබට දැඩි විවේචනයක් තිබුණා. ඒ දැඩි විවේචනාත්මක ස්ථාවරයක ඉඳන් ඔබ ඉන්දියාවේ සංචාරය කරනවා.
“අපිට රටකට යෑම රාජ්‍ය නායකන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරගැනීමට හේතුවක් නොවෙයි”
අපි විශ්වාස කරනවා අයි.ටී වැනි ක්ෂේත්රවලින් අපට ඉන්දියාවෙන් බොහෝ දේ ලබා ගත හැකියි. ඒ වගේම කලාපීයව ආර්ථික වශයෙන් ඉදිරියෙන් ඉන්න රටක්. අපි හදා ගන්න න්යායපත්රයක ජාතික සැලසුමකට අවශ්‍යවන පරිදි එම ක්ෂේත්රවලින් සහාය ලබා ගත හැකියි කියලා අපි විශ්වාස කරනවා.
- ඒ සහයෝගය ඔබට ලබා දෙන බවට ඉන්දියා පොරොන්දු වුනා ද?.
අපි දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේ ගනුදෙනු සිද්ධ වෙන්නේ ආණ්ඩ ආණ්ඩු අතර. අපි අපේ අවබෝධය වර්ධනය කරගැනීම සදහා ඔවුන් සමග සාකච්ඡා කළා.
- ආණ්ඩු පාර්ශවය සහ විපක්ෂය දිගින් දිගටම මේ ඉන්දීය ගමන ගැන විවේචනයන් එල්ල කරනවා.
ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අපි ද?… පව්.
ජනාධිපතිවරයා කවර මැතිවරණය කල් දාන්න උත්සාහ කළත් මේ ජනාධිපතිවරණය පැවැත්වීම කල් දාන්න විදිහක් ඔහුට නැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මේ රටේ විනාශකාරී දේශපාලනය නතර කළ යුතුයි. ඒ සඳහා විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා. බලපොරොත්තුවක් ඇති වී තිබෙනවා. ඒ සඳහා නායකත්වය ලබා දෙමින් මේ රටේ විශාල පරිවර්තනයක් ඇති කරගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ පරිවර්තනයට අපිට ජාත්‍යාන්තර සහාය අවශ්‍යයයි. මොකද අපි සංවර්ධනය වෙලා තියන රටක්, මහා අතිරික්ත ධනයක් තියන රටක්, මහා තාක්ෂණයෙන් කෙළ පැමිණි රටක් නොවෙයි.
ඒ නිසා සමහර ක්ෂේත්‍ර සඳහා අපට ප්රාග් ධනය අවශ්‍ය වෙනවා. සමහර ක්ෂේත්‍ර සඳහා තාක්ෂණය අවශ්‍ය වෙනවා. සමහර වෙළෙඳපල විවෘත කරගැනීම සඳහා යම් රාජ්‍යයන් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා.
ඒ නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හුදකලා වෙච්ච රාජ්‍යයක් ලෙස අපේ රටට ජයග්‍රහණය අත්පත් කරගන්න බෑ. ඒ නිසා එවැනි සබඳතා ශක්තිමත් කරගැනීමත් අපේ වෑයමක්.
- අපට තියෙන්නේ මුදල් නැති භාණ්ඩාගාරයක්. ඉතින් කොහොමද ඡන්දයක් තියන්න මුදල් වෙන් කරගන්නේ?
රනිල් වික්‍රමසිංහට 19 වතාවත් රට යන්න සල්ලි තියනවා. ඒ රට යන හැම වෙලාවකම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගෙනියන්නත් ඔහුට සල්ලි තියනවා. ඔබ දන්නවා ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට යනකොට සජබෙ වඩිවෙල් සුරේෂ්ව ගෙනියනවා. ඔහු ඩුබායි රාජ්‍යයට යනකොට මාන්නප්පෙරුම ගෙනියනවා. ඔහු උගන්ඩාවලට යනකොට කිංස් නෙල්සන් ගෙනියනවා. ඔස්ට්‍රේලියා යනකොට ඉෂාක් රහුමාන් ගෙනිහින් තිබෙනවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔහුගේ ඉතාම සමීප ගෝල බාලයින්ට ඕන තරම් මහජනයාගේ ධනය විනාශ කරන්න පුලුවන්.
ඒ වගේම ලෝකෙ සල්ලි නෑ කියලා මොන රටේ ද මැතිවරණ නොතියා ඉඳලා තියෙන්නේ. ඇත්තටම භාණ්ඩාගාරය හින්දවපු නිසාම තමයි ඡන්දයක් ඕන. ඉන්න පාලකයො පන්නා හැරලා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම සඳහා නව පාලනයක් ගොඩනගන්න අවශ්‍ය.
- ජනාධිපතිවරයා තමන්ගේ රාජාසනයේ දි කතාවෙදි කියනවා රට ගොඩ නගන්න ආණ්ඩුවට එක් වෙන්න කියලා. ඔහු එයට ආරාධනා කරනවා ඔබට…
පළමු කොටම රටේ මැතිවරණයක් තියලා ජන වරමකින් යුත් නායකයෙක් පත් වෙන්න. ජනවරමකින් යුත් නායකයෙක් එක්ක අප ගනු දෙනු කරන්න ලෑස්තියි. එහෙම නැතිව ජනතාව ප්‍රතික්ෂේප කරන ලද, පාර්ලිමේන්තුවට එන්න බැරි, කිසිම ජනවරමක් නැති, රාජපක්ෂලාගේ එකම රැකවරණය බවට පත් වී තිබෙන රාජපක්ෂලා රැකීම තමන්ගේ එකම වෘත්තිය බවට පත් කරගත්තු අයත් එක්ක මොන ආණ්ඩු ද?







