ලලිත් චාමින්ද –
-
ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය නිසා දුම්රිය ප්‍රවේශපත් නිකුත් නොකිරීමෙන් සිදුවූ කෝටි දෙකකට අධික අලාභය වෘත්තීය සමිතිවලින් අය කරගන්නැයි විගණනය නිර්දේශ කරයි…
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂය තුළ (2021) දුම්රිය ගමන්වාර 15188ක් අවලංගුකොට ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 18ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දී දුම්රියවාර 84244ක් ධාවනය කිරීමට සැලසුම්කොට තිබුණි. එහෙත් එම වර්ෂය තුළ දී ධාවනය කිරීමට හැකිවුයේ දුම්රිය වාර 69036 ක් පමණක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන 2021 වර්ෂයේ දෙසැම්බර් මස 24 සිට 28 දින දක්වා ආරම්භකළ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව මගින්ට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට තීන්දුකර තිබුණි.
ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට ගත් තීරණය හේතුවෙන් මෙකී දින පහක කාලය තුළ රජයට දෙකෝටි හතලිස් තුන් ලක්ෂ අසු එක් දහස් නමසිය හතලිස් තුනක (24,381,943) ආදායමක් අහිමි වි ඇති බවද මෙකී වාර්තාවේ සඳහන් වේ.
මෙහි අහිමිවු ආදායම වෘත්තිය සමිතිවලින් අයකරගැනීමට කටයුතු කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.







