ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ ප්‍රධාන යටිතල පහසුකම්, විශේෂයෙන් න්‍යෂ්ටික හා විදුලි බලාගාර ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට කළ අනතුරු ඇඟවීමත් සමඟ, ඉරාන සිවිල් වැසියන් එම බලාගාර වටා ‘මිනිස් පළිහක්’ (Human Chain) ලෙස එක්රොක් වෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ට්‍රම්ප් මෙම තර්ජනය සිදු කර ඇත්තේ, ලෝක තෙල් වෙළෙඳාමේ අතිශය වැදගත් නාවික මාර්ගයක් වන ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) කඩිනමින් යළි විවෘත කිරීමට ඉරානය පියවර නොගතහොත් ය. ඊට අදාළ එකඟතාවකට නොපැමිණියහොත් අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 ට ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කරන බවත්, එහිදී ඉරානයේ සියලුම විදුලි බලාගාර සහ ප්‍රධාන පාලම් පුපුරුවා හරින බවටත් ඔහු දැඩි තර්ජනයක් එල්ල කර තිබුණි.
මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් තම මව්බිමේ සම්පත් වෙනුවෙන් දිවි පිදීමේ අරමුණින් ඉරාන සිවිල් වැසියන් මිලියන 14 කට ආසන්න පිරිසක් මේ වන විටත් මෙලෙස බලාගාර සහ ප්‍රධාන යටිතල පහසුකම් ආශ්‍රිතව රැඳී සිටින බවයි.
මේ වන විටත් පාකිස්තානය වැනි රටවල මැදිහත්වීමෙන් සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වෙන නමුත්, දෙපාර්ශ්වයේම දැඩි ස්ථාවරයන් හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමකට මැදිවී තිබේ.







