කුප්රකට අපරාධකරුවෙක්, පාතාල නායකයෙක් මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ කුඩු සළිඳු හෙවත් සළිඳු මල්ෂිත ගුණරත්න තමන්ට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කිරීම වලක්වන ලෙස ඉල්ලා සිය නීතඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීමට ජූලි මස 03 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) දින නියම කළේය.
මෙම කුප්රකට අපරාධකරු හරක් කටාත් සමග මැඩකස්කරයේ දී අත් අඩංගුවට පත් වීමෙන් අනතුරුව විශේෂ මෙහෙයුමකින් පසු ලංකාවට රැගෙන ආවේය. අනතුරුව රක්ෂිත බන්ධනාගාරයේ ගත කරසිට ඇප ලැබූ දිනයේම ඔහු රටින් පලා ගියේය. කුඩු සළිඳු මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ දැනට අධිකරණ ක්රියාවලියෙන් පැනගොස් විදේශ රටක සැඟවී සිටින තමන්ට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කිරීම වළක්වා ලන ලෙස ඉල්ලීමටය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්රියන්ත ප්රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයේ කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුනි.
මෙම පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත් ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව සැකකරු මුදා හැරීමෙන් අනතුරුව ඔහු රටින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටින් පලා ගොස් සිටින පුද්ගලයෙකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බව පෙන්වා දුනි.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් රඳවුම් භාරයේ තැබූ අතර මාස හතක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් ය.
ඉන්පසුව තම සේවාදායකයාට එරෙහිව සෘජු සාක්ෂි නොමැති බවට රජයේ නීතිඥවරයා විසින් දැනුම්දීමෙන් පසුව ඔහු ඇපමත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවත් නීතිඥවරයා කියා සිටියේය.
ඉන් අනතුරුව විවිධ පුද්ගලයින් මුදල් ඉල්ලා තම සේවාදායකයාට බරපතළ තර්ජන එල්ල කළ බවත් සිය ජීවිතය පිළිබඳ ඇතිවූ බිය නිසා ඔහු රටින් පලාගොස් ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කර සිටියේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 03 වනදා කැඳවන ලෙස නියම කළේය. ( අද දෙරණ)







