කීර්ති ප්‍රනාන්දු –
සීනිවලට අමතරව පරිප්පු , බී ලූණු, හා සැමන් ආනයන බදු ද ශත 25 දක්වා පහත හෙළීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 20,000 ක පමණ පාඩුවක් සිදුවී ඇති අතර සීනි, පරිප්පු, බී ළූණු , සහ සැමන් යන භාණ්ඩ හතරෙන්ම සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන හැත්තෑපන් දහසක් පමණ වෙතැයි ආනයනකරුවෝ පවසති .
රුපියල් 50ක් වශයෙන් පැවති බී ළූණු ආනයන බද්ද ,රුපියල් 15 ක් වශයෙන් පැවැති පරිප්පු කිලෝවක ආනයන බද්ද, සහ රුපියල් 100 වශයෙන් පැවැති සැමන් ආනයන බද්ද 2020 ඔක්තෝම්බර් 13 වැනිදා සත 25 දක්වා රජය මගින් අඩු කෙරිණ.
ශත 25 දක්වා බදු අඩුකිරීමෙන් පසු පරිප්පු මෙට්ට්‍රික් ටොන් හාර ලක්ෂ අසූ දහසක් ද , බී ළූණු මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස් දහසක් සහ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 11ක් ඉකුත් වසර දෙකක කාලය තුළ මෙරටට ගෙන්වා ඇතැයි පිටකොටුව තොග වෙළෙඳ පොළෙන් වාර්තාවේ .
ආනයන බදු අඩු කිරීම නිසා බී ළූණු ආනයනය කිරීමෙන් රුපියල් මිලියන දොළොස් දහසක් ද , පරිප්පු ආනයනය කිරීමෙන් රුපියල් මිලියන හත්දහසක් ද, සීනි ආනයනය කිරීමෙන් රුපියල් මිලියන පනස් පන් දහසක් සහ සැමන් ආනයනය කිරීමෙන් රුපියල් මිලියන දහසක් වශයෙන් රජයට පාඩු සිදු වී ඇතැයි පවසන ආනයනකරුවෝ මෙම කාලයේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කටයුතු කළ බවද කියා සිටිති.
අඩු කරන ලද ශත 25 බද්ද පසුව ටින් මාළු සහ බී ළූණු යන භාණ්ඩ වලින් සංශෝධනය කෙරිණ .







