රජයේ නව සමාජ සුබසාධන යෝජනා ක්‍රමය වන ‘අස්වැසුම’ යටතේ සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන් තෝරා ගැනීමේදී බරපතළ විෂමතා මතුවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද අද (23) පාර්ලිමේන්තුවේ දී සිය අප්‍රසාදය පළ කළහ.
මුලින් ප්‍රශ්නය මතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ මේ තොරාගැනීමේ ක්‍රමය විකෘතියක් බවත් ජපානය වැනි රටවල සේවය කරන පුද්ගලයින් කිහිප දෙනෙකු ද මෙම යෝජනා ක්‍රමය යටතේ ආධාර ලබා ගැනීමට සුදුසුකම් ලත් පුද්ගලයන් ලෙස තෝරාගෙන ඇති බවයි.
“සත්‍ය වශයෙන්ම ආධාර ලබා ගැනීමට සුදුසුකම් ඇති අයගෙන් බොහෝ පැමිණිලි ලැබී තිබෙනවා. විදේශගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සංවාදයක් පැවැත්වීමට අපි කැමැත්තෙන් සිටිනවා. නමුත් අපි අගමැතිතුමාට කියන්නේ මේ අස්වැසුම වැඩපිළිවෙළ නවත්වලා සමෘද්ධි වැඩසටහන හරහා මේ ආධාර මුදල් ගෙවා දැමීම වැනි විකල්ප වැඩපිළිවෙළකට මැදිහත වී යම් තාවකාලික විසඳුමක් ලබා දෙන ලෙසයි.” ඔහු පැවසීය.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ද මෙහිදී අස්වැසුම වැඩසටහනේ ඇති අතාර්කික බව හෙළි කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ගෘහ ආදායම හා වියදම් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් කිරීම වඩා හොඳ බවයි.
“මම මීට පෙර අවස්ථා වලදීත් ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයක් ඉල්ලා ඇති අතර, සහන ලබා ගැනීමට සැබෑ සුදුසුකම් ඇති පුද්ගලයන් තෝරා ගැනීමට හැකි වන පරිදි නැවත වරක් එම ඉල්ලීම කරනවා. “ විපක්ෂ නායකවරයා කීවේය.
“ලර්න් ඒෂියා විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන මුළු ජනගහනය පෙර මිලියන 04 සිට මේ වසරේ මිලියන 07 දක්වා වැඩි වී ඇති බවයි,” ඔහු පැවසීය.
ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අස්වැසුම තාවකාලිකව අත්හිටුවීමටත් සමෘද්ධිය යටතේ තාවකාලික ආධාර ලබා දීමටත් යෝජනා කළේය.
“ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන්නේ සැබෑ දුප්පත් මිනිහට ආධාරය යන වැඩපිළිවෙළක්. මෙතන එහෙම වෙලා නෑ. වකුගඩු රෝගියා අත්හැරලා. ආබාධිත පුද්ගලයින් අයින් කරලා. නුසුදුස්සො අඩු කරන්න කතා කළාට නුසුදුස්සො තව දුරටත් වැඩි වෙලා. කඩිනම් වැඩපිළිවෙළක් නොකළොත් දුප්පත් මිනිස්සු අපහසුතාවයෙන් අපහසුතාවයට පත් වෙනවා. “ ඔහු කීවේය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පැවසුවේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මෙම යෝජනා ක්‍රමය යටතේ ආධාර අහිමිවීම දැන් පාරට වැටී ඇති බවය. “ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියේ ඊයේ උදේ ඉඳන් මිනිස්සු හිටගෙන ඉන්නවා.” ඔහු කීවේය.
ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඇතැම් නිලධාරීන්ගේ සහයෝගය නොලැබීම විෂමතා ඇතිවීමට හේතුවී ඇති බවයි.
“සුබසාධන යෝජනා ක්‍රමයෙන් අසනීප සහ ආබාධිත අයව අපට කිසිසේත්ම අත්හැරිය නොහැක,” ඔහු ද පැවසීය.
අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඕනෑම කෙනෙකුට තවම කාලය තිබෙන බවත් අගමැතිවරයා කීවේය.







