ලොකු කුමා විසිනි –
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බටලන්ද විවාදයේදී පාර්ලිමේන්තුවේදී මෙසේ සඳහන් කෙරුවේය.
“…..දැන් ඊළඟට බලන්නකො. ඔය ගොල්ලන්ගෙ පොලිස් අමාත්‍යංශෙ. ඔව් ඒ පොලිස් අමාත්‍යතුමාගෙ උපදේශකය. රණවීර.එයා තමයි වැලිපැන්න කඳවුරේ නායකයා. රණවීර නීතිය හා සාමය අමාත්‍යංශෙ උපදේශකය. එයාට චෝදනා රාශියක් තියෙනවා. තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කරාය කියල. එයා ලග තියාගෙන තමයි තාජුඩීන් ඝාතනය ගැන හොයන්නෙ. තමුන්නාන්සේලාගෙ නායක තුමාගේ විජේවීරගෙ ගෙදර වැඩ කරපු පක්ෂයේ පූර්ණකාලිකයෙක් සහෝදරිය. කවුද එයා. එයා තමයි කරුණක්කා. කරුණක්කා තමයි විජේවීරගෙ දරුවො බලාගත්තෙ. කරුණක්කගෙ අයිය වැලිපැන්න කඳවුරේ වද දීල මරල දැම්මෙ රණවීර ….”
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී එසේ සඳහන් කෙරුවේ අප විසින් ද මතු කරන ලද සිද්ධියකි. අප අවස්ථා ගණනාවකදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමතිවරයාගේ උපදේශක ඩී.එල්.ආර්.රණවීරගේ පැටිකිරිය අනාවරණය කර තිබේ. එහෙත් ඒවා NPP ආණ්ඩුවේ අවධානයට ගත් බවක් පෙනෙන්නට නම් නොවීය. වඳුරුන්ට බණ කීම ඊට වඩා පහසු බව අපට නොසිතුනා නොවේ .ඩී.එල්.ආර්.රණවීර පොලීසියේ සේවය කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි. ඔහුගේ සේවා ගොනුව ඉතා කැතය. අවලස්සනය. චෝදනා බොහෝය.රණවීර සිය පොලිස් රාජකාරිය රාජපක්ෂලාට පාවා දී ඇත්තේ එක අවස්ථාවක නොවේ. අවස්ථා ගණනාවකදීම එසේ සිදු කර තිබේ.
ඩී.එල්.ආර්.රණවීරට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙක් ලෙස පත් වීමට පින පෑදෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හා පවතින අඹ යාළුකම නිසාය. ඇමති ආනන්ද විජේපාලද පොලිස් සේවාවේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවය කර තිබේ. රණවීර හා විජේපාල එක කණ්ඩායමක ආධුනික උප පොලිස් පරීක්ෂක වරුන් ලෙස එසේ සේවය කරන ලද බවද අනාවරණය වේ. ඩී.එල්.ආර් රණවීර විශ්‍රාම යාමෙන් පසුව පසුගිය ජනපතිවරණයේදී පොලිස් විශ්‍රාමික සමූහයේ කුරුණෑගල සංවිධායක වරයා ලෙස NPP දේශපාලනයට සම්බන්ධ වී ඇත.
ඔහු NPP දේශපාලනයට සම්බන්ධ වෙන්නට ඇත්තේද විජේපාල මිත්‍රයාගේ උපදෙස් මත බව සිතාගන්නට පුළුවන. NPP පුරවැසියන් හට දුන් පොරොන්දු රණවීර උන්නැහේ අරභයා ක්‍රියාත්මක නොවීම සිඳු වන්නේ “මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවති – බිතු සිතුවම් රූ මෙන් පිටුනොපාවිතී “යන්න තහවුරු කරමිනි .එසේ නැතිනම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ පොලිස් කාරයෙකුට උපදේශකයකු ලෙස මේ ආණ්ඩුවේ මුදුනින්ම සිටින්නට ඉඩ හැකියාව නැත. NPPයේ අත්තිවාරම වන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් ඝාතනය කළ වධකයකු ආණ්ඩුවේ ගෞරවණීය උපදේශකයක් වන්නටද නොහැකිය.
විපක්ෂයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කරන්නේ ඒ කැත ස්වරූපයයි. සැබැවින්ම NPP ආණ්ඩුවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන්ගේ හෘද සාක්ෂිය මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ අවලාද නිසා කම්පනයට පත් වූයේ නැති නම් එය බරපතලය.
පොලිස් ඇමතිට ලැබෙන්නේ මොන ආකාරයක උපදේශ ද?
එසේම පොලීසියේ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ගන්නා උපදේශය කෙසේ වෙතත් සිය යාළු මාළු අඹ යාළුවාට ජීවිතයේ සන්ධ්‍යා භාගය සැපසේ ජීවත්වීම සඳහා ඇමතිවරයා විසින් මහජන මුදලින් වැටුපක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සළසා දී ඇති බව පැහැදිලිය. එසේ නැති නම් පොලීසිය ගැන උපදෙස් ගත හැකි පොලිස් සේවාවේ සිට විශ්‍රාම ගත් විශිෂ්ටයන් බොහෝ දෙනෙක් මෙරට සිටී. රණවීර වැනි අයෙකුගෙන් ඇමතිවරයාට ලබා ගත හැකි උපදේශය වන්නේ ආත්මය පාවා දී පොලිස් රාජකාරිය කරන්නේ කෙසේද යන්න ගැන පමණකි. ඔහුට ඒ පිළිබඳව ඕනෑවටත් වඩා අත් දැකීම් තිබේ.
මහජන ආරක්ෂක ඇමති ආනන්ද ව්ජේපාල තමන්ගේ සාක්කුවෙන් වැටුප් ගෙවා අඹ යාළුවා උපදේශක තනතුරේ තබා ගත්තා නම් අප මෙවැනි හෑලි ලියන්නේ නැත. දැන් මේ උපදේශකයාට ගෙවන්නේ මහජන බදු මුදල්ය. ඒ නිසා අපට ඒ ගැන කැක්කුමක් තිබේ. උපදේශක ඩී.එල්.ආර්.රණවීර පොලිස් සේවාවේදී සිය රාජකාරිය යහපත්ව ඉටු කර තිබුණේ නම් ඒත් ප්‍රශ්නයක් නැත. ඒත් මොහු පොලිස් සේවාවේදී ඉටු කරන ලද රාජකාරිය පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් කරවන ආකාරයේ මැදිහත්වීම්ය. ඒ සියල්ල රාජපක්ෂලාගේ පාදඩ හා පෝරිසාද දේශපාලනය ආරක්ෂා කර ගැනීම සදහා වූ පෞද්ගලික කැප කිරීම්ය. එවැනි අනීතික ක්‍රියාවලට සාමාන්‍ය පුරවැසියෙකුට නම් හිරේ විලංගුවේ ලගින්නට සිදු වේ. එහෙත් රණවීර පොලිස් රාජකාරියේදී සිදු කරන ලද වැරදිවලට කිසිදු දඬුවමකට ලක් වී නැත. ආශ්චර්ය වන්නේ එයයි. එවැනි අපරාධකරුවකුට විශ්‍රාම යාමෙන් පසුව ඇමති උපදේශකයකු වන්නටද අවස්ථාව සැළසී තිබේ. ඒ උපදේශක තනතුර මොහුට ලැබෙන්නේද එසේ මෙසේ ආණ්ඩුවකින් නොවේ. වංචාව දූෂණය හා අපරාද මෙරටින් තුරන් කිරීමට ජනතාව ඉදිරියේ දහ අතේ දිවුරා පොරොන්දු වූ ආන්ඩුවකිනි.
අප මේ තොරතුරු අනාවරණය කරන්නේ ආණ්ඩුව සමග ඇරියස් තියෙන නිසා නොවේ. මේ පල දරා ඇත්තේ දශක ගණනක් තිස්සේ අපත් කැප කිරීම් කරමින් ගොඩනගා ගත් ප්‍රාර්ථනාවය. ඒ ප්‍රාර්ථනාවට ඉහඳ තියන්නට පෝරිසාද රාජපක්ෂලා සමග එක පතේ කෑ ඉනිකුනන් ගෝපයියන් මැක්කන් NPP ආණ්ඩුවට රිංගීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳ මදි බව කියන්නටය. මේ සත්තු නිසා වැළඳෙන රෝග වලින් ආණ්ඩුව හැඳි ගෑවී යන්නටද ඉඩ තිබේ. අප ආණ්ඩුවට අනතුරු අඟවන්නේ ඒ නිසාය.
තනි හයියකින් මේ රටේ දේශපාලන බලයට හිමි කම් කියන්නට පොඩි මිනිසුන්ට ලැබුණ එකම හා අවසාන අවස්ථාව මෙය බව NPP ආණ්ඩුවේ සහෝදර සහෝදරියන් ඉස් මුදුනේ තබා ගත යුතු දේව වාක්‍යයයි. ඒ අවස්ථාව අත් හැරී ගිය හොත් සිදු විය හැකි විනාශය සුළු පටු නොවේ. ආණ්ඩුවට එරෙහිව සිටින්නන් මේ හෝරාවේ නඟන අවලාද හා අපවාද ආණ්ඩුවේ නොහැකියාව නිසා සිඳුවන බවට පුරවැසියන් විනිශ්චය කිරීමට පෙර ආණ්ඩුව විසින් සෘජු තීන්දු තීරණ වලට එළඹිය යුතුමය.එහිදී පුද්ගල හිතවත්කම් අදාල කර ගත යුතුද නැත.







