අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට වහාම කටයුතු කරන බවත්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමඟ ඉදිරි සතියේ දී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙලට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී අසාධාරණයක් සිදුව ඇති බවට යම් යම් පාර්ශව චෝදනා කිරීමත් සමග ආසාධාරණයට ලක්වුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ද ලබාදී ඇති කාලය ජූලි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (25) උදෑසන නිවේදනය කරනු බවත් රජය පවසය.ි
වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත්, ඒ අනුව ආර්ථික සවියක් අත්‍යාවශ්‍ය පුද්ගලයෙකුට හෝ පවුලකට මෙම ප්‍රතිලාභය අහිමි වී තිබේ නම් අදාළ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් විමසීම් සිදු කර එය නිවැරදි කර ගැනීමේ අවස්ථාව පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.
අස්වැසුම වැඩසටහනේ මූලික අවශ්‍යතාව වන්නේ ආර්ථික සවියක් අවැසිම පුද්ගලයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දීම මිස හුදු දේශපාලන ක්‍රියාවලියකට නතුව, විවිධ පක්ෂවල අවශ්‍යතාවයන් සපුරාලීම නොවන බවත්, ඒ පිළිබඳ ගෙන යන පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් රජය අවධාරණය කරයි.
විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවී තමන්ගේ නම, දැනට ප්‍රකාශයට පත් කර ඇති ලේඛනයට ඇතුළත් වී නොමැති නම් හෝ නුසුදුස්සෙකුගේ නම ඊට ඇතුළත්වී ඇත්නම් ඒ සම්බන්ධ විමසීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කර ගැනීමට කාරුණික වන ලෙසත්, අයදුම්කරුවන්ට මතුව ඇති ඕනෑම ගැටලුවක් ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් විසදාගත හැකි බවත් රජය වැඩිදුරටත් දැනුම් දෙයි.







