අවසනායේ දී ප්රාර්ථනා කළ ජයග්රහණය ලැබී ඇත්තේය. එංගලන්තය පරදවා කඩුළු 08ක ජයග්රහණයක්…
මේ ජයග්රහණය සුළුපටු නොවන්නේ කණ්ඩායම තුළත්, තේරීම් කමිටුව තුළත්, පුහුණුකරුවන් අතරත් බරපතල විසංවාදයක් ඇති වී තිබිය දී ඒ සියලුම දේ අභිබවා කළ ජයග්රහණයක් වීමය. නායකයා පැත්තකින් තබා නව නායකයෙක් තෝරා ගැනීම, දිගින් දිගටම ක්රීඩකයන් අබාධයට ලක් වීම, මැද පෙළ බිඳවැටීම නිසා සංචිතයටවත් තෝරා ගැනීමට සලකා නොබැලූ ඈන්ජලෝ මැතිව්ස් යළි කණ්ඩායමට කැඳවීමට සිදුවීම වැනි අලකලංචි ගොඩක් මැදය.

සැබෑ ලෙසමෙ මෙවැනි පරිසරයක ජයග්රහණ පහසු නැත. ක්රීඩා ලෝලීන් බොහෝ දෙනෙක් මේ වනවිට තරග නරඹමින් ඇත්තේ උපේක්ෂාවෙනි. දිනනකම් ෂුවර් නැත. දිනයි යන විශ්වාසය ඇති වී නැත. ඒ විශ්වාසය ක්රමයෙන් ගොඩනැගෙනවා නම් ලෝක කුසලානය නැති වුවත් මේ තරගාවලියේ යම් දෙයක් කිරීමේ අවකාශය තවමත් ශ්රී ලංකාව සතුව ඇති බව කිව යුතුය. මේ තරගය ජයග්රහණය කරන කණ්ඩායමට ඒ අවකාශය විවිර වී තිබිණි.
බැංගලෝරයේ දී අද කාසියේ වාසිය දිනුවේ එංගලන්ත නායක ජොස් බට්ලර්ය. එංගලන්ත කණ්ඩායම ඒ තීන්දුවට සාධාරණයක් කරන ආකාරය පෙන්වමින් පළමු කඩුල්ල වෙනුවෙන් ස්ථාවර සම්බන්ධයක් ගොඩනගන බව පෙනුනේය.
එම සම්බන්ධතාවය බින්දේ ඈන්ජලෝ මැතිව්ස් ය. ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ දිල්ශාන් මධුසංඛ යැවූ පළමු පන්දුවෙන්ම ජොන් බ්රිස්ටොව් දැවී ගිය බව පෙනුන ද පුනරූපන අවස්ථාවක් ඉල්ලුවේ නැති බැවින් එය ගිලිහී ගිය අයුරු පෙනුනි.
එහෙත් පළමු කඩුල්ල ලකුණු 45කට බිඳ වැටුනේය. ඒ කඩුල්ල ලබා ගත්තේ ලෝක කුසලාන සංචිතයට අවසන් මොහොතේ එක් වී අද පළමු තරගය ක්රීඩා කරන ප්රවීණ ක්රීඩක ඈන්ජලෝ මැතිව්ස් ය. එය වසර තුනකට පසු මැතිව්ස් ලැබූ පළමු එක් දින කඩුල්ලය.
ඉන් පසු එංගලන්ත ඉනිම බරපතල අර්බුදයකට ලක් කරන්නට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. වැඩි වේලා නොගොස් ජොනී බෙයාර්ස්ටෝව්, ජෝ රූට් සහ ජොස් බට්ලර් ක්රීඩා ගාරයට ගියහ. ඒ 16 වැනි ඕවරයට පෙරය. අනතුරුව බෙන් ස්ටෝක්ස්, මොයින් අලී සමගින් හොඳ සබඳතාවක් ගොඩනගමින් සිටින බවක් පෙනුනි. නමුත් මොයින් අලි මැතිව්ස් හමුවේ ලකුණු 15 කට දැවී ගියේය. එම සබඳතාව ලකුණු 37 දී අවසන් විය.
සධීර සමරවික්රමගේ අපූරු උඩපන්දු රැකීමකින් පසු ඉක්මනින්ම ක්රිස් වෝක්ස් දැවී ගියේය. ඔවුන් තරඟකාරී එකතුවකට ගෙන ඒම සඳහා සම්පූර්ණයෙන්ම පාහේ ස්ටෝක්ස් මත රඳා පැවතිනි. . කෙසේ වෙතත් බෙන් ස්ටොක් 30 වැනි ඕවරයේ පළමු පන්දුවේ දී පන්දු 73ක දී ලකුණු 43කට දැවී ගියේය.
එංගලන් කණ්ඩායම ලකුණු 156කට පන්දු ඕවර 33.2ක් තුළ දැවී යන්නේය.
පන්දු යැවීමේ දි ලහිරු කුමාර ලකුණු 35ට කඩුළු 03ක්, කසුන් රාජිත ලකුණු 36ට කඩුළු 02ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 14ට කඩුළු 02ක් මහීෂ් තීක්ෂණ ලකුණු 21ට කඩුල්ලක් ලැබුවේය

’පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පැමිණි ශ්රී ලංකා කණ්ඩායමේ කඩුළු 02ක් ලකුණු 23කට දැවී ගියේය. පන්දුවට මුහුණ දුන්න මුල් අවස්ථාවේ සිට අස්ථාවර බවක් පෙන්නූ ඉනිම ආරම්භ කිරීමට පැමිණි කුසල් ජනිත් පෙරේරා ලකුණු 04කට දැවි යන්නේ පන්දු 05කට පමණක් මුහුණ දෙමිනි.
පන්දු 12කට පමණක් මුහුණ දුන් කුසල් මෙන්ඩිස් යළිත් පිතිකරණයෙන් අසාර්ථක වූයේය. ඔහුගේ වැඩිම වැඩදායී දායකත්වය වූ පිතිකරණය ඔහු නායකත්වයේ වගකීම දරන්නට පටන් ගත් තරග තුනේදීම කණ්ඩායමට ලැබුනේ නැත.
එහෙත් මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායමේ වඩාත්ම ස්ථාවර පිතිකරුවන් දෙදෙනා වන පැතුම් නිශ්ශංක සහ සධීර සමරවික්රම මනරම් ඉනිම් දෙකක් ක්රීඩා කළහ. එය කාලයකින් දැකිය හැකි වූ කදිම ජයග්රාහී සම්බන්ධයකි. පැතුම් නිශ්ශංක පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 07ක් සහ හයේ පහර 02ක් සමගින් නොදැවී ලකුණු 77ක් ලැබුවේය. සධීර සමරවික්රම හතරේ පහර 07ක් සහ හයේ පහර එකක් සමගින් පන්දු 54ක දි ලකුණු 65ක් ලැබුවේය.

ඉතින් කාලයකට පසු මදියි නොකියන්න දිනුමක් ලැබුණේය. තරගයේ වීරයා කඩුළු 03ක් ලකුණු 35කට දවා ගත් ලහිරු කුමාරය.

දැන් ලකුණු සටහනේ අප ඉන්නේ 05 ටය. එංගලන්තය 09ට ය. අපි තරග 05ක් ක්රීඩා කර දෙකක් දිනුම්ය. ඒ බලාපොරොත්තුව සමග ලබන 30 වැනිදා ඇෆ්ගනිස්ථානය සමග පූනේ වලදී හමුවන්නේය. එය මේ ප්රවිශ්ඨ වූ ජයග්රහණ මාවතේ තවත් දිගුවක් වනු දැකීම ක්රීඩා ලෝලී අපේ අපේක්ෂාවය.







