මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල, දම්මින්න මහා විද්‍යාලයට නුදුරින් දම්මින්න නගරයේ අරක්කු බාර් එකක් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව දම්මින්න මහා විද්‍යාලයේ, ගුරුවරුන්, සිසු දරු දැරියන් ,මෙන්ම ඔවුන්ගේ මවුපියන් ඊයේ (20) සවස පැයක පමණ කාලයක් දම්මින්න නගර මධ්‍යයේදී දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

ගොවිතැන් කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දම්මින්න, ඉහළවැව, අරුණපුර, නිදන්වල, ඇතුළු අවට ගම්මාන සඳහා දම්මින්න නගරයට අරක්කු බාර් එකක් අවශ්‍ය නැති බවත්, ඊට වඩා තම ප්‍රදේශයට අත්‍යවශ්‍යතා පවතින බවත් ඔවුහු පැවසූහ.
මෙම අරක්කු තැබෑරුම විවෘත කිරීමට කටයුතු කළොත් පවතින සමාජ වියවුල තවත් තීව්‍රවනු ඇති බවත් ඉන් අවසානයේ දී පීඩා විඳින්නේ සහ අනාරක්ෂිත වන්නේ තමන්ගේ දරුවන් බවත් විරුද්ධතාකරුවෝ මෙහිදී සඳහන් කළහ.

මෙම අරක්කු තැබෑරුම මීට පෙර දම්මින්න නගරයේ විවෘත කිරීමට සැලසුම් කර තිබියදි එය තම විද්‍යාලේ දෙමව්පියන්, දරුවන්, ගුරුවරුන්, ප්‍රදේශවාසීන්, විදුහල්පතිවරුන්, එක්ව 2023 ජුනි 24 වෙනිදා ලිඛිතව ජනාධිපතිවරයාට සහ උතුරු මැදපළාත් ආණ්ඩුකාරවරයාට මෙන්ම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ද දැනුම් දුන් බව දම්මින්න විද්‍යාලයේ හිටපු විදුහල්පති,ආර්. එම්. යු. රත්නායක මහතා සඳහන් කළේය. අරක්කු තැබෑරුම විවෘත කිරීම නතර කෙරු බවත්, මැතිවරණ සමය එළැඹෙද්දී කිසියම් දේශපාලන පක්ෂයක වාසි උදෙසා නැවතත් එම අරක්කු බාර්එක දම්මින්න නගර මධ්‍යයේ විවෘත කිරීමට සූදානම් බවත් ඔහු පැවසුවේය.
දම්මින්න මහා විද්‍යාලයආසන්නයේ අරක්කු තැබෑරුමක් දැමීමට විරෝධය පළ කෙරෙමින් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බවත්, පාසලක් මෙන්ම රජයේ කාර්යාල රැසක් පිහිටි ස්ථානයේ අරක්කු තැබෑරුමක් දැමීම කිසිසේත් සුදුසු නැති බවත්, දම්මින්න මහා විද්‍යාලයේ විදුහල්පතිනි එම්. එම්. ජී.කේ. ඒකනායක මහත්මිය සඳහන් කළාය.







