දේශපාලන අධිකාරිය දූෂණයෙන් තොර තැනක් බවට පත් කර තිබෙන බවත්, අල්ලස් නොදෙන සංස්කෘතිකයක් ඇති කිරීම පුරවැසියා සතු වගකීමක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු පෙන්වා දෙන්නේ නිවැරදි රටක් ගොඩනැගීම සඳහා විශාල පුරවැසි වගකීමක් ඇති බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ අද (19) පැවති “පශ්චාත් අයවැය කතිකාවත 2025” (POST BUDGET FORUM 2025 ) සංවාදයට එක්වෙමිනි .
පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීම සඳහා ලබා ගත් වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගි කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර දිසානායකෙ කියා සිටියේය.
බංකොලොත්භාවයට පත් වූ රටක් නැවත ගොඩනැගීමට ලෝකයේ බොහෝ රටවලට දශකයක් ගත වී ඇති නමත් ශ්‍රී ලංකාවට ඉන් මිදීමට දශකයට වඩා අඩු කාලයක් ගත කාලයක් ගත වේ යැයි පුරෝකථනය කළ හැකි බවත් මෙහිදී ජනපතිවරයා පැවසීය.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15.1%ක් දක්වා වර්ධනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන බවත් ප්‍රමුඛතාවන් හඳුනාගෙන මුදල් වැය කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .
ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ආර්ථිකය ගමට තල්ලු කිරීමත්, පුරවැසියා ආර්ථිකයේ කොටස්කරුවකු කර ගැනීමටත් මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇති අතර ඉන් පුරවැසියාට ප්‍රතිලාභ ලැබීමේ හැකියාවද ඉහළ යනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා පළ කළේය.
ආර්ථිකයෙන් පිටමං කළ කණ්ඩායම් නැවත ආර්ථිකයට එකතු කර ගනිමින් ගම් මට්ටමෙන් කුඩා ආර්ථික ඒකක නිර්මාණය කිරීමට වත්මන් රජය සැලසුම් කර ඇති අතර ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ගොඩනැගීමේ උන්මාදයක් රට තුළ ඇති කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
කර්මාන්තයට සහාය දීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම තුළින් පාරිභෝගිකයාට සහන සැලසීම රජයේ ඉලක්කය බවද කියා සිටියේය.
ග්‍රාමීය දුප්පත්භාවයෙන් රට ගොඩනැගීමට අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇති බවද එමගින් පාසල් පද්ධතිය තුළ මානව සම්පත හා භෞතික සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒක රේඛීය අධ්‍යාපනය වෙනුවට බහු රේඛීය අධ්‍යාපනයක් ඇති කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති අතර රාජ්‍ය සේවාව ලබා දීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත්, එම නිසා රාජ්‍ය ආයතන වියදම් සමාලෝචනය කිරීමට බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා කීවේය.
අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේ ඉහළ අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
වරාය කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජයේ අවධානය යොමුව ඇති අතර කාර්යක්ෂම බහාලුම් හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීමටද මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇති අකාරය ජනාධිපතිවරයා සිහි කළේය.
සංචාරක කර්මාන්තය දිරි ගැන්වීම සඳහා නගර ප්‍රවර්ධන (City Brand) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන අතර අනුරාධපුරය, යාපහුව, යාපනය වැනි නගර ප්‍රවර්ධනය කිරීමටද සැලසුම් කර ඇති ආකාරය ඔහු පැහැදිලි කළේය. .
රාජ්‍යතාන්ත්‍රික සේවාව රටේ ආර්ථික අවස්ථා පුළුල් කරගැනීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය .
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ ඇතුළු විද්වත් හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







