ශ්‍රී ලංකාවේ තාක්ෂණික මට්ටමේ නිළධාරීන් සමඟ තවමත් සබඳතා පවත්වාගෙන යන බවත් ඉහළ මට්ටමේ නිළධාරීන් සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් පවසයි.
“ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන වර්තමාන තත්ත්වය නිරාකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාදීමේ වැඩසටහනක් සඳහා යළි සංවාදයක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා..”
රයිස් මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මේ වන විට මහ බැංකුව හා මුදල් අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කරමින් සිටින අතර හැකි තරම් ඉක්මණින් ඉහළ පෙළේ නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් සිය සහය ලංකාවට ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.
“දේශපාලන ගැටුම් නවතා සර්ව පාක්ෂික නායකයෙකු පත් කරගෙන ණය ලබා ගැනීමේ සාකච්ඡා හැකි ඉක්මණින් ආරම්භ කිරීමයි ලංකාව දැන් කළ යුත්තේ.. ලංකාව වෙනුවෙන් අලුත් ණය වැඩසටහනක් සකස් කර දෙන්න අයිඑම්එෆ් බලාපොරොත්තුවෙන් හිටියත් තවමත් ලංකාවේ ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නොනැඟෙන එක ලොකු ගැටලුවක්…”
ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමිකරුවෙකු වන විලියම් බ්ලේයාර්ගේ මුදල් කළමණාකරු වන ක්ලිෆර්ඩ් ලෝ පවසයි.







