2023 වසරේ අයවැය යෝජනා නිසි ලෙස ක්‍රියාත්ම කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවන බවත් ඒ මගින් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සිය අයවැය කතාව කරමින් ප්‍රකාශ කළේය.
අද පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලෙස 2023 වසරේ අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ වසර 25ක් දක්වා යන පුළුල් වැඩ සටහනකට මෙම අයවැය පාදක කර ගන්නා බවයි. මෙම වැඩපිළිවෙළ ට පක්ෂ විපක්ෂ භේදයකින් තෙරව රට ගැන සිතන අය සහය දෙන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ඒ දීර්ඝ කාලීන වැඩසටහන වසර පහෙන් පහට සමාලෝචනය කළ හැකි වන අතර ක්‍රමය මාරුකිරීම වෙනුවට මුහුණු මාරු කිරීමේ දේශපාලනයකට අප යා යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
එසේම පාර්ලිමේන්තුවට වෙනදාට වඩා මුදල් පිළිබඳව බලයක් ලබා දී ඇති බැවින් පවතින කාරක සභා ක්‍රමය තවදුරටත් ශක්තිමත් ව ක්‍රියාත්මක කළ යුතු බවත් තේරීම් කාරක සභා සහ ආංශික කාරක සභා මගින් මහජන නියෝජිතයන්ට මෙම කාර්යය සඳහා සම්බන්ධ වීමේ අවකාශය සැලසෙන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.







