අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවත් එහි බලය වෙන කිසිවෙකුට හෝ ලබා නොදෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
ඔහු බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කර ඇත්තේ කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සමග බලය පිහිටුවීමට සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා කරන බවත් දේශපාලන පක්ෂ ලෙස නොව මන්ත්‍රීවරුන් ලෙස යම් යම් අය සමග සාකච්ඡා කරමින් සිටින බවත්ය.
ඔහු පෙන්වා දෙන්නේ කොළඹ නගරසභාවේ වැඩිම නියෝජනය ගත්තේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම බවය. කෙසේ වෙතත් සභික ධූර 48ක් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා සභික ධූර 60ක් අවශ්‍යවන අතර ඒ වෙනුවෙන් සභික ධූර 12ක් ආනයනය කරගැනීමට ජාතික ජන බලවේගයට සිද්ධ වන්නේ ස්වකීය ප්‍රකාශිත ප්‍රතිපත්තියේ ද යම් සංස්කරණයක් සමගය.
මේ අතර සමගි ජන බලවේය කියන්නේ එක්සත් ජාතික පක්ෂය හා තවත් කණ්ඩායම් සමග එක්ව කොළඹ මහ නගරසභාවේ බලය තහවුරු කරන බවය. එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දැනටමත් ප්‍රකාශ වී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර උපුටා දක්වමින් බීබීසී වාර්තා කරයි.
කොළඹ මහ නගර සභාවට නියමිත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 110ක් බවත් මෙවර ප්‍රතිඵල අනුව එය 117ක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
“පත්වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතු යි. පළමු සභා රැස්විමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා.”
කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පෙනවා දී ඇත.
විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය.
“විපක්ෂයේ ඔක්කොම එකතු වුණොත්, හොඳ නගරාධිපතිවරයෙක් හෝ වරියක් නම් කළොත් එතනට අනිත් මන්ත්‍රීවරුත් ඡන්දය දෙන්න පුළුවන්.”
කෙසේ නමුත්, නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඉන් එක් අපේක්ෂයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතින බවත් Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර කියා සිටියේ ය.







