-
අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරි රිය පැදවීම… බස් රථයට වළංගු මාර්ග බලපත්‍රයකුත් නෑ….
-
නිතර අනතුරු සිදුවන මෙවැනි මාරක පටු පාලම් දෙක්ක ගැන ජනතාවගෙන් පැමිණිලි…
මනම්පිටිය බස් රථ අනතුරේ මරණ සංඛ්‍යාව දැන් 11 කි. තවත් හතළිස් එක්දෙනකුට තුවාලය. ඊයේ (09) රාත්‍රි 7.45 ට පමණ පොලොන්නරුව මනම්පිටිය කොටලීය පාලමේ ඔයට වැටී සිදුව වූ බස්රථ රථ අනතුරට සම්බන්ධව රියදුරු අත්අඩංගුව ගෙන අද (10) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිසිය කීවේය.
කදුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබු මෙම බස් රථය අනතුරට පත්වීමෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයන් දසදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇති බව පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය,
අත්අඩංගුවට ගත් බස්රථයේ රියදුරු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතළිහක් වයසැති අයෙකි.
මෙම පෞද්ගලික බස් රථයට උතුරු මැද පළාත් මාර්ගවල ධාවනය කිරීමට සඳහා මාර්ගස්ථ බලපත්‍රයක් නොමැතිව බවද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලීසිය කීවේය.
මනම්පිටිය පොලිසිය කියන්නේ මෙම මාරක අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය පැදවීම් බව ය.
අනතුරෙන් වැලිකන්ද බොරවැව අංක 130 ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු 18 ක තරුණයෙකුද මියගොස් ඇත.,
කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වූ එම තරුණයා මවුපියන් සමඟ තම මිත්තණියගේ මල ගෙදරට යෑම සඳහා කදුරුවෙල නගරයෙන් ගමන් අරඹන කල්මුණේ බස් රථයට ගොඩ වී තිබිණි.
මියගොස් සිටින සෙසු අය කල්මුණේ සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මියගිය ඇතැම් අයගේ තොරතුරු මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකිවි ඇත. ඔවුන්ගේ අනන්‍යතාවය සහතික කරගත හැකි සියලුම දේ කොටලීය ඔයේය. මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇත.
මෙම බස් රථය අනතුරට පත්වීමෙන් පසුව මනම්පිටිය පොලිසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය නාවික හමුදාව ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව පැයතුනක පමණ මෙහෙයුමකින් අනතුරුව බස් රථයේ සිරවී සිටි තුවාලකරුවන් හතළිස් එක් දෙනකු පමණ ගොඩටගෙන පෞද්ගලික වාහන සහ ගිලන් රථ වලින් මනම්පිටිය සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කළහ.
බස් රථය කොටලීය ඔයට වැටීමෙන් එම බස්රථයට තවත් මගින් යටවී ඇතිද යන්න සොයා බැලීම සඳහා කමාන්ඩෝ බලකාය මාදුරුඔය හා වැලිකන්ද යුධ හමුදා කඳවුරුවල පිහිනුම් ඒකක, මෙන්ම ආරක්ෂක අංශ අද (10) විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි,
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ සහ වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල සහ මනම්පිටිය අතර මෙවැනි අනාරක්ෂිත පටුපාලම් දෙකක් පිහිටා තිබෙන අතර, එම පටුපාලම් දෙකෙන් පසුගිය කාලවලදී බස්රථ, යතුරු පැදි, මෙන්ම වාහන විශාල වශයෙන් අනතුරට ලක්ව මිනිස් ජීවිත අහිමි වී ඇති බවත්, මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම පටුපාලම් දෙක ඉතා කඩමින් පුළුල් කර මෙම ප්‍රධාන මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙසත් රියදුරන් මෙන්ම මගීහු ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.