තමන් අගමැති ධූරය කිසිදා ඉල්ලා සිටිය නොමැති මුත් අද තමන්ට බැණවදින විපක්ෂ නායකවරයා අගමැතිකම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
අනතුරුව ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂට අගමැති ධූරය අපේක්ෂා කරන බව ඉල්ලා යැවූ ලිපිය සභාගත කර හැන්සාඩ් වාර්තාවට එම ලිපිය යොමු කරන ලෙස ද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ කීවේය.
“විපක්ෂ නායකයා තුමා කිව්වා මම අගමැතිකම ඉල්ලුවා කියලා. මම ඉල්ලුවෙ නෑ. අගමැතිකම මට කැඳවලා දුන්නේ. මහා නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු බොහෝ දෙනා කිව්වා අගමැති ධූරය භාරගන්න කියලා. මම ඉල්ලුවෙ නෑ. ලියුම් ලිව්වෙ නෑ. ඒත් මම හිතන්නේ විපක්ෂ නායකතුමාට අමතක වෙලා තියනවා එතුමා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එවපු ලියුම.
( ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂට යැවූ ලියුම කියවයි)
“ගරු ජනාධිපති තුමනි. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්වී කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි“
මට බනින්නෙ ඇයි ඉතින්… ඒ වෙනකොට මම දිවුරුම් දීලා ඉවරයි.
මේක වාර්තා කරන්න හැන්සාඩ් එකට ඇතුළු කරන්න කියලා ඉල්ලා සිටිනවා.







