ලලිත් චාමින්ද
මෙරට වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කොට වසර 12ක් ගතවී තිබුණ ද, දැනට ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස 456 අතුරින් වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ වැඩිහිටි නිවාස 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති අලුත්ම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.
2011 අංක 15 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 34 වැනි වගන්තිය ප්‍රකාරව, මේ සම්බන්ධයෙන් සමාජ සේවා අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබ තිබුණි. එම නියෝග යටතේ යම්කිසි ආයතනයක වැඩිහිටි තැනැත්තන් 05 දෙනෙකුට වඩා නේවාසිකව සිටින්නේ නම්, වහාම එම ආයතනය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවට නියම කර තිබේ. මෙම නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කොට වසර 12ක් ගතවී ඇතත්, බහුතරයක් ආයතන මෙතෙක් ලියාපදිංචි වී නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ අතර රජය මගින් වැඩිහිටි තැනැත්තන් සඳහා සේවා සපයනු ලබන සියලුම ආයතන නියාමනයට අදාළ මාර්ගෝපදේශ සහ නියෝග සකස් කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කර ඇති බැව් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පවසයි.
පසුගිය වර්ෂයේ මැයි මස 30 වැනි දින මෙම කමිටුව පත් කර ඇති අතර, එම කමිටුව විසින් ඉදිරි කටයුතු සිදු කරගෙන යන බව ද ජාතික සභාව පෙන්වා දෙයි.

පසුගිය දා බිහිසුණු ගින්නකට ලක් වූ හොරණ බටගොඩ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” (මවුපිය සෙවණ) වැඩිහිටි නිවාසය නිසි පරිදි ලියාපදිංචි කරන ලද ආයතනයක් නොවන බව අනාවරණය වී තිබිණි.
එම ගින්නෙන් 13 දෙනෙක් මිය ගියහ. 05 දෙනෙක් මේ වනවිටත් ප්‍රතිකාර ලබති. ගින්න සිදුවන අවස්ථාව වනවිට මෙම වැඩිහිටි නිවාසයේ 72ක් පමණ වැඩිහිටියෝ සිටියහ. අනතුරින් අද තවත් වැඩිහිටියෙක් මිය ගොස් තිබිණි.









