ඉඳුනිල් කහටපිටිය –
සිය පියා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ පුත් කුෂාල් සලේ අද මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය.
අද (2026 ජූනි 07 ඉරිදා) දින කුෂාල් සලේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සිය පියා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තම පියා දින 100කට වැඩි කාලයක් රඳවා තබාගෙන සිටින බවය. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට ඔහු කිසිදු ආහාරයක්, ජලය හෝ වෙනත් කිසිදු ආකාරයක කෑමක් ගැනීම ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයක නිරත වන බවත් හෙතෙම තහවුරු කළේය.
මෙම උපවාසයේ ප්‍රධානතම අරමුණ වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස බල කිරීම සහ රහස් පොලිස් (CID) පරිශ්‍රය තුළ තම පියාට “බල්ලෙකුට මෙන්” සැලකීම හේතුවෙන් විඳීමට සිදුවූ කුරිරු සහ අමානුෂික අත්දැකීම පිළිබඳව ඔහු විසින් ලෝකයට අවධාරණය කිරීම සඳහා කුෂාල් පැවසුවේය.
ජනාධිපති කොමිෂන් සභා වාර්තා, එෆ්.බී.අයි (FBI) වාර්තා සහ චැනල් 4 නාලිකාවට අදාළව සිදුකළ පරීක්ෂණ ඇතුළු අනෙකුත් විමර්ශන වාර්තා මෙන්ම ඉමාම්ගේ වාර්තාව ද ඇතුළුව බහුවිධ වාර්තා මඟින් තම පියාගේ නිර්දෝෂීභාවය පැහැදිලිවම තහවුරු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය සතියේ පැවැති අධිකරණ විභාගයේදී, විනිසුරුවරයාගේ ඉල්ලීම පරිදි සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කර තිබිණි. අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාව මඟින් සුරේෂ් සලේ මානසික වධහිංසාවලට ලක්ව ඇති බවත්, අතිශයින්ම අමානුෂික අයුරින් ඔහුට සලකා ඇති බවත් හෙළි කර ඇත.
මේ සතිය තුළදී විනිසුරුවරයා මෙම කරුණ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙනු ඇතැයි සුරේෂ් සලේ ගේ පුත් කුෂාල් සලේ අපේක්ෂා කරයි. තම පියාව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ ලෙස වරදකරු කිරීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සියලු පාර්ශ්වයන්ට සාධාරණය ඉටු වන පරිදි නිසි සහ සාධාරණ අයුරින් සිදු කිරීම ප්‍රධාන ඉල්ලීම බව ඔහු අවධාරණය කළේය.
මේ සිද්ධිය සම්බන්ධව මුලින්ම රටට අනාවරණය කරනු ලැබුවේ උදය ගම්මන්පිල විසිනි. සලේ ගේ පවුලේ අයගේ ඉල්ලීම පිට ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ගම්මන්පිල ප්‍රකාශ කළේ සුරේෂ් සලේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී නින්දිත ලෙස සලකා ඇති බවය. සිකුරාදා රාත්‍රියේ බත් හැන්දක් රාබු හොදි සමග පත්තර කඩදාසියකට එලා බිමට දමා කෑමට දුන් බව ද මෙවැනි නින්දිත අපහාසවලට එරෙහිව මරණය දක්වා උපවාසයක් සලේ ආරම්භ කර ඇති බව ද ගම්මන්පිල කීවේය. සලේ ඖෂධ ද ප්‍රතික්ෂේප කරමින් මරණය දක්වා උපවාසයට අරඹා ඇති බව ගම්මන්පිල කීවේය.
ඊට පිළිතුරු ලෙස පොලිසිය පැවසුවේ එය සම්පූර්ණ අසත්‍යයක් බවය. පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කිවේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව කිසිම අමානුෂික ප්‍රතිචාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු වී නැති බවය. එය සම්පූර්ණයෙන්ම බොරුවක් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කීවේය.
අවසාන වශයෙන් අධිකරණය ඉදිරියේ ඇති කටයුත්තක් සම්බන්ධව මීට වඩා වගකීම් සහගතව කටයුතු කරන ලෙසද පොලිසිය ගම්මන්පිලට දැනුම් දුන්නේය. දැන් සුරේෂ් සලේ ගේ පුත් කුෂාල් සලේ ගම්මන්පිල හෙළි කළ කතාව තහවුරු කරමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් නිකුත් කර ඇත
මේ කතාවත් කියවන්න…







