ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ 100ක පමණ අද (30) විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේය. පද්ධතියේ ස්ථායීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම කඩිනම් ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අද දිනයේ විදුලි ඉල්ලුම බෙහෙවින් අඩු මට්ටමක පැවතීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට විදුලිය විසන්ධි වී ඇති ප්‍රදේශවල සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල පද්ධතිය මුහුණ දුන් මෙම හදිසි තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“පසුගිය දිනවල පැවති වැහිබර කාලගුණය හේතුවෙන් සූර්ය බලශක්ති උත්පාදනය තරමක් අඩු මට්ටමක පවතිනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් අද දිනයේ ඉතා හොඳින් සූර්යාලෝකය ලැබීම නිසා බලාපොරොත්තු වූවාට වඩා විශාල විදුලි ධාරිතාවක් සූරිය පැනල මගින් ජාතික පද්ධතියට එකතු වුණා. මේ තත්ත්වය මත බොහෝ ස්ථානවල විදුලි ඉල්ලුමට වඩා සැපයුම ඉහළ යාමක් දක්නට ලැබුණා.
එමගින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාමට දැඩි ගැටලු මතු වූ නිසා, ඉල්ලුමට වඩා සැපයුම අධික වූ ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක මේ වනවිට විදුලිය කපා හැරීමට කටයුතු කර තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ ජනනයේ ස්ථායීතාව ඉල්ලුමට සරිලන ලෙස කඩිනමින් සකස් කර ගැනීමටයි. අද පස්වරු 3.00 පමණ වනවිට මෙය යථා තත්ත්වයට පත් කරගත හැකි වෙයි.
මේ ආකාරයට විදුලිය කපා හැරීමක් සිදු නොකළේ නම් සමස්ත පද්ධතියම මහා පරිමාණ බිඳවැටීමකට (Blackout) ලක්වීමට ඉඩ තිබුණා. එම අනතුර වළක්වා ගැනීමටයි මෙම පියවර ගත්තේ. මේ වෙලාවේ ගෘහස්ථ සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) විසන්ධි කර තැබීමට කටයුතු කරන්නේ නම්, එය පද්ධතියේ ස්ථායීතාව යළි ඇති කිරීමට විශාල සහයෝගයක් වෙනවා.
බස්නාහිර පළාත තුළ වහල මත සවිකළ සූරිය පැනල බහුලව පවතින නිසා මේ තත්ත්වය වඩාත්ම බලපා තිබෙන්නේ එම පළාතටයි. මීට අමතරව කළුතර සහ පානදුර වැනි කලාප කිහිපයකත් මෙම ගැටලුව මතු වුණා. අද නිවාඩු දිනයක් බැවින් විදුලි ඉල්ලුම අවම වීමත්, සැපයුම උපරිම වීමත් නිසා පද්ධතිය ආරක්ෂා කරගැනීමට ප්‍රදේශ කිහිපයක කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදු වුණා.”
මේ අතර, පද්ධතියේ ස්ථායීතාව සුරැකීම වෙනුවෙන් වහල මත සවිකර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 3.00 දක්වා ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම ද සූර්ය පැනල හිමිකරුවන්ගෙන් හදිසි ඉල්ලීමක් කර සිටී.







