ඉඳුනිල් කහටපිටිය –
හරක්කටාගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනිමට අදාලව ඊයේ (25) පස්වරුවේ නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුලු තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දැක්වීමක් සිදුකළේය. විශේෂත්වය වූයේ ඔහු අධිකරණයට කීවේ තමන් මේ කතා කරන්නේ සමස්ථ ශ්‍රී ලංකා නීතිඥවරුන් 28000 වෙනුවෙන් බවය.
රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින් ගුණරත්න වන්නිනායක රඛිත රාජපක්ෂගේ වෘත්තීය අයිතිවාසිකම් අහිමි නොකළ යුතු බව අවධාරණය කරමින් මෙසේ පැවසුවේය.
” සාමාන්‍යයෙන් පැමිණිල්ලක් ඒ අදාන විමර්ශනය සිදුකරන ආයතනයට ආවාම අදාල පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමකට එන්න කියනවා. නමුත් මෙතන එහෙම දෙයක් වෙලා නෑ. හමුදාවෙන් පනිනවා වගේ ගෙදරකට පැනලා අල්ලන් යනවා.”
“මේකද ලංකාවෙ නීතඥවරයෙකු හිමිවන ගරුත්වය. මේකද කළු කෝට් එකේ වටිනාකම.
නීතිඥවරුන්ට හිමිවන වරප්‍රසාද හිමිවිය යුතුයි. අල්ලස් කොමිසමට මේ විදිහට නීතිඥවරුන් ඇදන් යන්න බැහැ.”
“මේක අපේ අභිමානයට කළ හානියක්. තාත්තා දේශපාලනඥයෙක් නිසා මේ කරන්නේ පුතාට ගහන එක. කවද හරි ස්වාමීනී ඔබතුමාටත් මටත් මේ දේම වෙන්න පුලුවන්. මම ඒ නිසා ශ්‍රී ලංකා නීතිඥවරුන් විසිට දහසකගේ අයිතිවාසිකම් වෙනුවෙන් කථා කරන්නේ.”
ගුණරත්න වන්නිනායක ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ ද ප්‍රබල චරිතයකි. ඔහු පෙනී සිටියේ ශ්‍රී ලංකා නීතිඥයින් වෙනුවෙනි. මෙහි දී ඔහුගේ පෙනී සිටීම නිරූපණය කළේ වන්නිනායක රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් බවය.
මේ පිළිබඳව බරපතල විවේචනයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සමාජයෙන් එල්ල වුනේය. අද (26) දිනයේ පස්වරුවේ නීතිඥ සංගමය තත්ත්වය නිවැරදි කරමින් පැහැදිලිකිරීමක් ඉදිරිපත් කළේය.
ඒ ලිඛිත නිවේනය අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් නීතිඥ රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ කටයුතුවලදී ඔහු වෙනුවෙන් කිසිදු නියෝජනයක් නොකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පැහැදිලි කර ඇත.
අද (26) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති කටයුතුවලදී සංගමය කරුණු ඉදිරිපත් කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා වැරදි ලෙස යෝජනා කර ඇති බවයි.
තම සාමාජිකයින් සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් තම කාර්යභාරය අදාළ අධිකරණ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා සංගමයට වාර්තා කිරීමට පමණක් සීමා වන බව නීතිඥ සංගමය පැවසීය.
තවදුරටත් එහි සඳහන් වූයේ, නඩු කටයුතු අතරතුර නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට තම විධායක කමිටුව කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති බවත්, අත්අඩංගුවට ගත් නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්ය.








