තම සේවකයෙකුට වාචිකව බැන වදිමින් සහ ශාරීරිකව පහරදීමේ සිද්ධියකට සම්බන්ධ ලංකාවේ ප්‍රධානම පෙළේ කොත්තු අවන්හල් ජාල හිමිකරුවා මහරගම පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේය.
අදාළ අවන්හලක් තුළදී මෙම හිමිකරු විසින් සේවකයාට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන සීසීටීවී (CCTV) දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූ අතර, ඒ පිළිබඳව පොදු මහජනතාවගෙන් දැඩි විවේචන සහ විරෝධතා එල්ල විය.
මෙම සමාජ මාධ්‍ය වීඩියෝව කෙරෙහි වහාම අවධානය යොමු කළ පොලිස් දෙපාර්තමේන්තුව, ඒ ඔස්සේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස මහරගම පොලිසියට උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම පහරදීමේ සිද්ධිය පසුගිය මැයි මස 5 වැනිදා සිදුවී ඇති බවයි.









