මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිතයේ මහා පරිමාණයෙන් සතුන් දඩයම් කළ පුද්ගලයන් අටදෙනෙකු කොටන තුවක්කු දෙකක්, මරණ ලද තලගොයෙකු සහ දඩයම් ආයුධ රැසක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබේ.
වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජූනි 20 වැනිදා සවස සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් කොටුකරගෙන ඇත. සැකකරුවන් සන්තකයේ තිබී කොටන තුවක්කු දෙකකට අමතරව, විදුලි පන්දම් පහක්, පතුරන් කිහිපයක් සහ දඩයම් කිරීමට යොදාගන්නා තවත් ආයුධ රැසක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වාලච්චෙන, වාකරේ, කට්ටමරු සහ කදිරිවේලි යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 40ත් අතර පසුවන්නන්ය. මොවුන් දීර්ඝ කාලයක සිට මෙම රක්ෂිතය තුළ සතුන් දඩයම් කිරීමේ නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොළොන්නරුව වනජීවී අඩවි සහකාර ආර්. ආර්. ශාන්ත, එස්. පී. ප්‍රේමරත්න, සිවිල් ආරක්ෂක දයාසේන, අමරසිංහ නවරත්න, ලසන්ත ප්‍රදීප්, යසසිරි සහ රියදුරු කරුණාතිලක යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ජූනි 22 වැනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව අඩවි සහකාර ආර්. ආර්. ශාන්ත අප කළ විමසීමකදී සඳහන් කළේය.









