ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
අද (31) සවස් කාලයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු උර කිහිපයක් සොයාගෙන ඇති අතර එහි සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව තහවුරු කරයි.
බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව නාවික හමුදාව දියත් කළ මෙහෙයුමේ දී සැක කටයුතු යාත්‍රාව පරීක්ෂා කරන විට එහි සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය යැයි සැක කරන උර තොගයක් සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතී.
නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කර ඇති දැඩි මෙහෙයුම් හමුවේ මෙම වසරේ (2026) ගෙවී ගිය මාස තුනක පමණ කාලය තුළ සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කරගෙන ඇත. ඒ අනුව ගත වූ මාස තුන තුළ පමණක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 10කට අධික සංඛ්‍යාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. මෙම මෙහෙයුම් හරහා රුපියල් බිලියන 15කට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් සහ කේරළ ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොග මෙරටට ඇතුළු වීමට පෙර අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මෙම පිරිස සබඳතා පවත්වා ඇත්දැයි යන්න පිළිබඳව ද මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.







