ඉඳුනිල් කහටපිටිය –
තිස් වසරකට අධික කාලයක් පුරා මෙරට පැවැති කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කර වසර 17ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරු 2.45ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම රාජ්‍ය උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඊයේ සිට රණවිරු ස්මාරකය අවට ප්‍රදේශයේ ආරක්ෂක රැකවල් දැඩි කර තිබිණි. ආරක්ෂක හේතූන් මත කිසිවෙකුට රණවිරු ස්මාරකයට ගමන් කිරීම ද අත්හිටුවීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. එම ජාතික උත්සවයේ ආරක්ෂක විධි නියමන් කැඩීමට යම් පිරිස් උත්සාහ දැරූ අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවේය.
රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවයේ කැපී පෙනෙන විශේෂත්වයන් රැසක් පවතින බව ඊයේ (18) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී එම අධිකාරිය අවධාරණය කළේය. මෙරට සාමය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වැඩි පිරිසකට සෘජුවම දායක වීමට ඉඩකඩ වෙන් කිරීම මෙවර උත්සවයේ මූලිකම සුවිශේෂත්වයක් බව ඔවුහු පෙන්වා දුන්හ.
උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් ත්‍රිවිධ හමුදාවට එකතු වී රට වෙනුවෙන් ජීවිතය පූජා කළ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් 30 දෙනෙකු පමණ මෙවර රාජ්‍ය උත්සවය සඳහා විශේෂ ආරාධිතයන් ලෙස එක් කරගෙන තිබීම විශේෂත්වයකි. ජාතික සමගිය සහ සංහිඳියාව පෙරදැරි කරගනිමින් ගත් මෙම පියවර පිළිබඳව රණවිරු සේවා අධිකාරිය ඊයේ මාධ්‍ය වෙත විශේෂයෙන් කරුණු පැහැදිලි කළේය.
මෙවර සැමරුම් උත්සවය සඳහා යුද, නාවික, ගුවන් හමුදා, පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF) මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද නියෝජනය කරමින් 2,769 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත. මී
ට අමතරව, රණවිරු මව්පියන් සහ ළඟම ඥාතීන් 160කට අධික පිරිසකට ප්‍රධාන උත්සව සභාව අභියසටම වී ඊට සෘජුව සම්බන්ධ වීමේ අවස්ථාව සලසා තිබේ. තවද, ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් මල් කලඹ තබා රණවිරු උපහාර දක්වන අවස්ථාවේදී, එම රණවිරු පවුල්වල සාමාජිකයන්ට ද ඔවුන් සමඟම ගොස් ස්මාරකය අභියස මල් කලඹ පූජා කිරීමට මෙවර පහසුකම් සලසා ඇත. අද පස්වරුවේ ආරම්භ වන මෙම ජාතික උත්සවය පස්වරු 6.45ට නිමාවට පත්වීමට නියමිතය.
මෙරට ත්‍රස්තවාදී ඉතිහාසය දෙස හැරී බැලීමේදී, 1975 වසරේ ජූලි 27 වැනිදා එවකට යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරෙයිප්පා ඝාතනය කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය සන්නද්ධ ප්රචණ්ඩත්වය ආරම්භ කළේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැනි මෙරට ආර්ථිකයේ මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් දරුණු ප්‍රහාර එල්ල කළ ඔවුහු, රටේ ආර්ථිකය අඩපණ කිරීමට දරුණු උත්සාහයක නිරත වූහ.
එපමණක් නොව, බෞද්ධ ජනතාවගේ පරම පූජනීය මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට මෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැනි ආගමික සිද්ධස්ථානවලට ද ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමට ඔවුහු පෙළඹුණහ.
සාමාන්‍ය මහජනතාව ගමන් ගත් දුම්රිය, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හරිමින් අහිංසක සිවිල් වැසියන් දසදහස් ගණනකගේ ජීවිත අහිමි කිරීමට ක්‍රියා කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය, අවසානයේදී 2009 වසරේ මැයි මස 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එහි නායක වේළුපිල්ලේ ප්රභාකරන් ආරක්ෂක අංශ අතින් මරණයට පත්වීමත් සමඟ සම්පූර්ණයෙන්ම නිමාවට පත් විය.
තිස් වසරක එම දරුණු ශාපය නිමා කරමින් රටට උදා වූ නිදහස වෙනුවෙන් දිවිපිදූ වීරයන් සැමරීමේ ජාතික විජයග්‍රාහී රණවිරු උත්සවය මෙලෙස අද දින අභිමානයෙන් යුතුව පැවැත්වේ.







