උපේක්ෂා උඩුවැරැල්ල –
මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය මුල් කරගනිමින් තමිල්නාඩු දේශපාලනයේ නව බලවේගය වන ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂයේ නායක සී. ජෝසප් විජයි විසින් තබන ලද එක්ස් (X) සමාජ මාධ්‍ය සටහන, ඉන්දු-ලංකා දේශපාලන සබඳතා මෙන්ම තමිල්නාඩුවේ අභ්‍යන්තර දේශපාලන බල තුලනය පිළිබඳව නැවත වරක් පුළුල් සංවාදයක් මතු කර තිබේ.
විජේ ඊයේ (18) දිනයේ මේ සටහන තබන හේතුවක් තිබේ. උතුරේ එල්ටීටීඊ මතවාදයට එකඟ දේශපාලන කණ්ඩායම්වල මූලිකත්වයෙන් මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය ලෙස සමරන දිනය ඔවුන් හඳුන්වා දෙන්නේ “දෙමළ ජන සංහාරක දිනය” ලෙසය. එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව මේ දිනය විශාල ප්‍රචාරණයක් සහිතව සමරනු ලබයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත් වන්නේත් ඊයේ දිනයේ දීය. මෙම සැමරුම ප්‍රභාකරන්ගේ මරණය සැමරීමටත් සමගාමීය. විජෙයි සිය එක්ස් පණිවිඩය නිකුත් කරනු ලබන්නේ මෙන්න මේ ඉසව්ව ස්ඵර්ෂ කරමින් වීම සැලකිය යුතු අවධානයකින් විමසා බැලිය යුතුය.
“මුල්ලිවයික්කාල්හි මතකයන් අප අපගේ හදවත් තුළ සදා දරා සිටිමු! මුහුදෙන් එතෙර ජීවත් වන අපගේ දෙමළ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සැමවිටම සහයෝගීතාවයෙන් පෙනී සිටිමු!” යනුවෙන් විජයි කළ ප්‍රකාශය හුදු සංවේදී සිහිපත් කිරීමකට වඩා, තමිල්නාඩුවේ සාම්ප්‍රදායික ද්‍රවිඩ දේශපාලන ප්‍රවාහය අභිබවා යාමට දරන උපායමාර්ගික උත්සාහයක් ලෙස හඳුනාගත හැකිය.
முள்ளிவாய்க்கால் நினைவுகளை இதயத்தில் ஏந்துவோம்! கடல் கடந்து வாழும் நம் தமிழ்ச் சொந்தங்களின் உரிமைகளுக்காக எப்போதும் துணை நிற்போம்!
— TVK Vijay (@TVKVijayHQ) May 18, 2026
රජිව් ඝාතනය සහ ප්‍රධාන ධාරාවේ ද්‍රවිඩ දේශපාලනයේ පසුබැසීම
1980 සහ 1990 දශකයන්හි මුල් භාගය වන තෙක්ම ශ්‍රී ලාංකීය දෙමළ අර්බුදය සහ එල්.ටී.ටී.ඊ. (LTTE) සන්නද්ධ අරගලය තමිල්නාඩු දේශපාලනයේ ප්‍රධාන තීරක සාධකයක් විය. එහෙත් 1991 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කිරීමත් සමඟ සමස්ත චිත්‍රය වෙනස් විය. එම ඝාතන සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නම් කෙරුණු අතර, එතැන් සිට ඉන්දියාව තුළ එම සංවිධානය තහනම් සංවිධානයක් බවට පත් විය.
මෙම ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයත් සමඟ තමිල්නාඩුවේ ප්‍රධාන ධාරාවේ ද්‍රවිඩ පක්ෂ වන ඩී.එම්.කේ. (DMK) සහ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIADMK) ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රශ්නය සහ විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. හිතවාදී ස්ථාවරයන් සම්බන්ධයෙන් අතිශය ප්‍රවේශම් සහගත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පටන් ගත්තේය. ඉන්දීය ජාතික හැඟීමට සහ මධ්‍යම රජයේ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරයට පිටුපෑමට නොහැකි වීම හේතුවෙන් ඔවුහු මේ දේශපාලන මාතෘකාවෙන් ක්‍රමයෙන් දුරස් වූහ.
විජයිගේ ‘දෙමළ අනන්‍යතාවය මුලට’ (Tamil First) උපායමාර්ගය
සාම්ප්‍රදායික පක්ෂ මෙම මාතෘකාව මඟහරිද්දී, විජයි ප්‍රමුඛ නව දේශපාලන බලවේගයන් තමිල්නාඩුවේ තාරුණ්‍යය ආකර්ෂණය කරගැනීම සඳහා දැඩි ‘දෙමළ ජාතිකවාදී’ සහ ‘දෙමළ අනන්‍යතාවය මුලට’ (Tamil First) යන සටන් පාඨය කරළියට ගෙනවිත් තිබේ. මෑතකදී පැවැත්වුණු සභා මැතිවරණයේදී ශ්‍රී ලාංකීය දෙමළ අර්බුදය ප්‍රධාන මැතිවරණ වේදිකාවක් ලෙස ඉස්මතු නොවූවද, විජයි මෙම මාතෘකාව අත්නොහැරීමට තීරණය කර ඇත.
2025 සැප්තැම්බර් මාසයේදී නාගපට්ඨිනම් දිස්ත්‍රික්කයේ පැවැති ජනරැලියකදී ඔහු කළ ප්‍රකාශය මීට කදිම නිදසුනකි. එහිදී ඔහු වේළුපිල්ලේ ප්‍රභාකරන්ව වක්‍රව හඳුන්වා දුන්නේ ඊළාම් දෙමළ ජනතාවට “මාතෘ සෙනෙහස දැක්වූ නායකයෙකු” ලෙසය. තමිල්නාඩු මැතිවරණ ව්‍යාපාරය තුළද ප්‍රභාකරන්ව “මවකගේ ආදරය” ලබා දුන් මාතෘත්වයේ සංකේතයක් ලෙස සමාන කරමින් ඔහු දැඩි ආන්දෝලනයක් ඇති කළේය.
සභාග දේශපාලනය සහ බාහිර බලපෑම්
විජයිගේ මෙම දේශපාලන ස්ථාවරය හුදෙක් මතවාදී එකක්ම නොවන අතර, ඒ පිටුපස තමිල්නාඩුවේ පවතින සභාග දේශපාලන වටපිටාවද බලපා තිබේ. විජයිගේ සුළුතර රජයට වත්මන් තමිල්නාඩු පාලක ඩී.එම්.කේ. (DMK) පක්ෂයේ මිත්‍ර පාර්ශවයක් වන ‘විදුතලෙයි සිරුතෛගල් කච්චි’ (VCK) පක්ෂයේ බාහිර සහයෝගය හිමිව ඇත. VCK පක්ෂය යනු ඉතිහාසය පුරාම දැඩි එල්.ටී.ටී.ඊ. හිතවාදී සහ දෙමළ ජාතිකවාදී ස්ථාවරයක පෙනී සිටි පක්ෂයකි.
එබැවින්, තම රජයේ ස්ථාවරත්වය රැකගැනීමට මෙන්ම VCK පක්ෂය වැනි බලවේගයන්හි සහයෝගය අඛණ්ඩව රඳවා ගැනීම සඳහා ද විජයිට මෙවැනි ‘ඊළාම් හිතවාදී’ දේශපාලන ප්‍රවේශයන් භාවිත කිරීමට සිදුව ඇති බව පැහැදිලිය.
අවසානයේ දි තේරුම් ගත යුත්තේ විජයිගේ ‘මුල්ලිවයික්කාල්’ මැදිහත් වීම පෙන්වා දෙන්නේ තමිල්නාඩුවේ නව පරපුරේ දේශපාලනය තුළ නැවත වරක් දෙමළ ජාතිකවාදය ප්‍රබල සාධකයක් ලෙස ඉස්මතු වෙමින් පවතින බවය.
සාම්ප්‍රදායික ද්‍රවිඩ පක්ෂ රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු පවත්වාගෙන ගිය මධ්‍යස්ථ පිළිවෙත බිඳදමමින්, විජයි වැනි නව නායකයන් ප්‍රභාකරන්ගේ සාධකය සහ ශ්‍රී ලාංකීය දෙමළ වැසියන්ගේ ප්‍රශ්නය තමන්ගේ දේශපාලන පදනම ශක්තිමත් කරගැනීමේ මෙවලමක් ලෙස භාවිත කරමින් සිටී. මෙය ඉදිරියේදී කලාපීය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට මෙන්ම තමිල්නාඩු දේශපාලනයේ අනාගත හැඩගැස්මටද තීරණාත්මක ලෙස බලපානු ඇත.







